ඊයේ(22) රැස්වූ ආරක්ෂක මණ්ඩල තීරණයක් අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ත්‍රස්තවාදය මර්ධනයට අදාල වගන්ති පමණක් හදිසි නීති රෙගුලාසි
යටතේ ගැසට් කිරීමට ඒ අනුව තීරණය විය. මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන මේ අනුව ක්‍රියාත්මකවීමට නියමිතය.
මේ අනුව රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට බලය පැවරෙන අතර මහජන
ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත් වේ.

ඒ අනුව

    වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට
    නිශ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට
    සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීමට
    පවතින පොදු නීතිය අභිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට
    මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැගෙන වැඩිමනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ.

හදිසි නීති රෙගුලාසි හෝ, එම රෙගුලාසි මත පනවන කිසිදු ආඥාවක්, දෙන නියෝගයක්, හෝ මඟ පෙන්වීමක්, කිසිදු අධිකරණය ප්‍රශ්ණ කිරීමට භාජනය කළ නොහැකි වන අතර හදිසි නීති විධිවිධාන යටතේ, එම රෙගුලාසි වලට අනුකූලව කරනු ලබන කිසිදු ක්‍රියාවකට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩු පැවරීමක්, නඩු විභාගයක්, හෝ අපරාධ විධිවිධාන ක්‍රියාවේ යෙදවීමක් කළ නොහැක.