ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයකු ලෙස සිටිමින් අපරාධයකට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා පැය 72 කාලයක් 
රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ   ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය  කෙසෙල්වත්ත පොලිසියට ඊයේ (29) අවසර දුන්නාය.

මෙම සැකකරු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන් නැමැත්තා සහ පවත්වා ඇත්තේ කුමන ආකාරයක සම්බන්ධතාවක් ද, තවදුරටත් මොහු එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා සමග සම්බන්ධව ඇත්දැයි යන්න පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුව ඇති බැවින් සැකකරු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙලෙස පැය 72 කාලයක් කෙසෙල්වත්ත පොලිසිය තුළ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ අංක 2, එෆ්, ආර්, සූරියමල් පුර මහල් නිවාස, කුමාර දොරටුව, කොළඹ 12 පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාස් නැමැත්තාය.

කොළඹ ප්‍රදේශය අවට බෝම්බ පිපිරීම් සිදුවූ අවස්ථාවේ දී පොලිසිය එම ස්ථානයට යැවීමට ප්‍රථම මෙම සැකකරු අදාළ පිපිරීම් සහ එයින් මරණයට පත්වූ අය මෙන්ම තුවාල සිදුවූ අය සම්බන්ධයෙන් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කිරීම් සහ ඡායාරූප ගත කිරීම් සිදුකර ඇති බවත් ඔහු එවන් ක්‍රියා සිදුකළේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණය දැනුම් දු න්නේය.

වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන අයෙකු බව කියන මෙම සැකකරු බෝම්බ නිෂ්පාදනය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු බවට ද  අනාවරණය වී ඇති බව  අධිකරණයේ පෙනී සිටි බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියෙක් මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

 මෙම සැකකරුගේ ජංගම දුරකතනයේ බෝම්බ පිපිරීම් සිද්ධිය  සිදුවූ අවස්ථාවේදීම ලබාගත් ඡායාරූප, ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ලාංජන, මරාගෙන මැරෙන ත්‍රස්තයන් භාවිත කළ වාහනවල ඡායාරූප ද සිද්ධින්වලට අදාළ වීඩියෝ දර්ශන ද අන්තර්ගතවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය. රඳවා තබා ගැනීමට අදාළව පොලිස් අධිකාරිවරයා ලබාදී තිබූ අවසර ප‍ත්‍රයට අනුව පැය 72 කාලයක් කෙසෙල්වත්ත පොලීසිය තුළ තබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

 එසේම සැකකරු ලබන 02 වැනිදා අධිකරණය වෙත නිරීක්ෂණය සඳහා  ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළේය.

(නිමන්ති රණසිංහ)