පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණ ද බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අප වාර්තාකරුවෝ පවසති.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ, ස්ථානීය දඩ සඳහා පනවා ඇති නව ගාස්තුවලට විරෝධය පළ කරමිනි.

අද අලුයම අප කළ සොයා බැලීමකදී මාතර, ගාල්ල හා මහනුවර බස් නැවතුම්පොළවල සිට සාමාන්‍ය කාල සටහන් අනුව බස් රථ ධාවනය වන බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ.

බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් ද අද අලුයම සිට සාමාන්‍ය කාල සටහන් අනුව බස් ධාවනය වූ බව එහි නිලධාරීහු පැවසූහ.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, වර්ජනයට තම සංගමයේ සහයෝගය නොදෙන බව ය.

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අපහසුතාවක් ඇති වන පරිදි ක්‍රියාත්මක මෙම වර්ජනය අසාධාරණ බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, තම සංගමය ද මෙම වර්ජනයට එක් නොවන බව ය.