අද (08) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී පැවති සාකච්ඡාවකදී විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා කියා සිටියේ අප්‍රෙල් 10 විදුලි
කප්පාදුව ස්ථිර ලෙසම නවතන බවයි. අප්‍රෙල් 10 සිට මැයි 18 වෙසක් පොහොය තෙක් අඛණ්ඩ විදුලි සැපයුමකට අවශ්‍ය හැකියාව තමන් සතු බවයි. වෙසක් පොයෙන් පසු මෙගාවොට් 500 ඉන්ධන ආශ්‍රිත විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගන්නට සිදුවන බවත් කෙසේ නමුත් විදුලි කප්පාදුවක් සිදු නොකර පවත්වා යාමට හැකි වන බවත්ය. මැයි මැද සිට ඉන්ධන මගින් විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගැනීම සඳහා අමතර වියදමක් දරන්නට සිදුවෙද්දී එය ගෘහස්ථ පාරිභෝගිකයින් පිට නොපටවන බවකියන ඔහු එම වියදම කර්මාන්ත හා වාණිජ අංශවල බිල් මගින් අයකරගන්නට කටයුතු කරන බවත් එම තත්වයද වැසි ලැබීම අනුව තාවකාලික ගැටලුවක් පමණක් වනු ඇති බවත්ය.


"මම වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා. හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්තවශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට  25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක්  වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය  මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්. අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා. නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා. එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ. 
"අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම  බාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මෙතෙක් කාලයක් විදුලිබල මණ්ඩලය රැකගෙන ගිහින් තිබෙන්නේ ගෘහස්ථ අංශය නිසා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය  අහිංසක ජනතාවට ලබාදෙන්නයි. පුළුවන්නම් විදුලි බිල 2021 වන විට අඩු කරන්න උත්සාහ කරනවා. කෙසේනමුත් ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ"

පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා.  වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා. මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ" යැයි පැවසීය.