https://www.gossiplankanews.com/2019/03/udul-premaratne-speaks-about-amal-nadeemal.html#more
සුගියදා මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරාට නීතීඥ උපදෙස් ලබාදීමට ගිය අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු හා වර්තමාන නීතීඥයෙකු වන උදුල් ප්‍රේමරත්න එම අවස්ථාවේ ප්‍රකාශ කළ යම් යම් දේ සම්බන්ධ
විවාදසම්පන්න තත්වයක් මතුවිය.
ඔහු පවසන්නේ අමල් නදීමාල් අත්අඩංගුවට පත්වීම ආශ්‍රිත වැරදි තොරතුරු රැසක් පැතිරී ගිය බවයි.
මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ පුවත්පතකට උදුල් අදහස් ප්‍රකාශ කර තිබුනේ පහත ආකාරයටයි.

නීතිඥ වෘත්තීය ඇතුළේ ඔබ රඟ දක්වන භූමිකාව මොකක්ද?


මම නීතිඥයකු ලෙස දිවුරුම් දීලා අවුරුදු 11ක් වෙනවා. එහෙත් මට 'නීතිඥයා' කියන වෘත්තීය රාමුවට ඔළුව හදාගන්න සෑහෙන කාලයක් ගියා. ඒ වගේම මගේ පෙර ක්‍රියාකාරිත්වය නිසාම නොවැළැක්විය හැකි විදියට මට කටයුතු කරන්න සිද්ධ වුණේ මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළවයි. බට්ටිගේ නඩුව ගත්තත්, කොණ්ඩයගේ නඩුව ගත්තත් එහෙමයි. ඒ මේ ‍රටේ පීඩිත මිනිස්සු. ඔවුන් මේ සමාජය විසින් බැහැර කළ මිනිස්-බාග; නැත්නම් දූවිලි වගේ. මම ඒ අය වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න තීරණාත්මක මැදිහත් වීමක් කළා. වසර 4කට පස්සේ බට්ටිට පහර දුන් පොලිස් නිලධාරියට දඬුවම් ලබාදී වන්දියක් අරන් දෙන්න මට හැකි වුණා. ඒ වගේම කොණ්ඩයා වැරදි නැහැ කියලා ඔප්පු කරන්න මට පුළුවන්කම ලැබුණා. නැතිනම් වැරදිකරුවා වෙනුවට නිවැරැදිකරුවකු දඬුවම් ලබනවා. මේ දේවල් එක්ක අපරාධ නීතියට අදාළව වැඩි වශයෙන් නඩු ලැබෙන්න ගත්තා. මේ වෘත්තියේ නැහැ විභාග පාස් කරල තමන් කැමති ක්ෂේත්‍රයක් තෝරගන්න. මම පෙනී හිටපු නඩු නිසා මගේ නීතිඥ භූමිකාව මානව හිමිකම් පැත්තට යොමුවෙලා තියෙනවා.

ඔබටත් සමහරක් නීතිඥයන්ට වගේ එන්ජීඕවලින් මුදල් ලැබෙනවද?

මට ඔය චෝදනාව අදාළම නැහැ. ඒත් එහෙම සල්ලි අරන් වෙන වෙන දේවල් කරන අය ඉන්නවා. ඒ අය තමයි රාජ්‍ය නොවන සංවිධානවලින් මේ රටට ලබාගන්න තියෙන සහාය නැති කරන උදවිය; සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය විනාශ කරන උදවිය. මගේ මතය නම් රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගත්තාට කමක් නැහැ. හැබැයි ඒවා ඇත්තට මේ රටේ ජනතාව වෙනුවෙන් යොදවන්න ඕනෑ. මටත් එහෙම ලැබෙනවා නම් මම කැමතියි. මට ඒකෙන් මිනිස්සුන්ට ගොඩක් උදවු කරන්න පුළුවන්.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත් වෙලාවේ ඔහු වෙනුවෙන් පෙනී ඉන්න ඔබ ඩුබායි ගිය බවට චෝදනා එල්ල වුණා?

අද වෙද්දී ලංකාවේ මතවදාය මෙහෙයවන්න ගොසිප්වලට හැකි වී තිබෙනවා. ඒ නිසයි ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ. ලංකා ඊ-නිව්ස් එක මම ඩුබායි ගිය බව කොහෙන් හරි දැනගෙන මට කෝල් කළා. මගේ දුරකතනය රෝමින් වැටෙන නිසා ඔවුන් ප්‍රවෘත්තියක් නිර්මාණය කළා. ඒ ප්‍රවෘත්තිය තමයි රට පුරාම මාධ්‍යවල ගියේ. නැතුව ඇත්ත හොයල වාර්තා කළා නෙමෙයි.

එහෙනම් ඔබට අනුව ඇත්ත මොකක්ද?

ඇත්තටම මම ගියේ මගේ මිත්‍රයකු වන අමල් පෙ‍රේරා වෙනුවෙන්. මේක පෞද්ගලික ගමනක්. මාත් එක්ක තවත් මිතුරන් දෙදෙනකු මේ ගමනට සහභාගි වුණා. ඒ එක්කෙනෙක් අමල්ගෙ ළඟම මිත්‍රයෙක්. අපි මේ සිද්ධිය දැනගත්තම එකතු වෙලා සොහාන්වයි එයාගේ ගෙදර අයවයි හම්බවෙලා මේ ගැන සාකච්ඡා කළා. අමල්ගේ නදිමාල්ගෙයි පාස්පෝට්වල ෆොටෝ කොපිත් අරගෙන තමයි අපි එහෙට ගියේ. ඒ යනකල් අපි දැනගෙන හිටියේ නැහැ ඔවුන් රඳවා ඉන්නේ කොහේද කියලවත්. එහෙත් දවසගානේ ගොසිප් හැදෙන්න ගත්තා. අපි එහේ ගියේ අමල්ටයි නදිමාල්ටයි කරන්න පුළුවන් උදවුව මොනවද කියලා සොයා බලන්නයි. අපි යනකොට ඔවුන්ට අඳින්න ඇඳුමක්වත් ලැබී තිබුණෙ නැහැ. කෝල් එකක් ගන්න ඔවුන් ළඟ සල්ලි තිබුණෙත් නැහැ.

ඒත් ඔබව එහෙට යැවුවේ ඔවුන් නෙමෙයි නේද?

මේක අප පෞද්ගලික තීරණයක් මත ගිය ගමනක්. ඒත් සෙහාන් මේ ගමන ගැන දන්නවා. ඔහු කියපු දේ හොඳට අහන්න. අපේ රටේ මාධ්‍ය විසින් විකෘති කරලයි ප්‍රචාරය කළේ. අවශ්‍යනම් වගකිව යුතු මාධ්‍යක් විදියට ඔබට ඒ ගැන හොයල බලන්න පුළුවන්. ඒකෙන් වැරදි චිත්‍රයක් ජනතාවට මැවුණා.‍‍ අප එහේ ගියාම දැනගත්තා අමල්ව බලන්න කවුරුවත් ගිහින් නැති බව. මමයි නිරෝෂණුයි, බණ්ඩාරයි අමල් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයන් සොයන්න මහන්සි වුණා. මධූෂ්ලා ඒ වෙනකොටත් නීතිඥයන් හොයාගෙන තිබුණා. අප මේ තාත්තටයි පුතාටයි නීතිඥයකු හොයලා දීලා කිසියම් විදියකින් පිටුවහල් කිරීමක් කළොත් ට්‍රැවල් බ්ලෑන්ක් කිරීමක් කරන්න දෙන්න එපා කියලා පොලීසියෙන් ඉල්ලීමක් කළා.

මොකද, එහෙම කළොත් ඩුබායි ඉඳල යුරෝපයට යන්න මේ අයට ඉඩක් ලැබෙන්නේ නැහැ.‍ ඊට පස්සේ අපි ඩුබායි පොලීසියේ ඉන්න පබ්ලික් පෙස්කියුටර් නිලධාරියා හමුවෙලා මේ අය ලංකාවේ ජනප්‍රිය ගායකයන් කියලා සරල පැහැදිලි කිරීමක් කළා.

ඒකට අපි යූටියුබ්වල මේ දෙන්නා සින්දු කියන වීඩියෝ දර්ශන ඔවුන්ට පෙන්නුවා. ඒකත් පහුවදා වැරදි විදියට ලංකාවේ ප්‍රචාරය වුණා.‍


අමල් මේ දේවල්වලට ඇත්තටම සම්බන්ධ නැද්ද?

මට සීයට දෙසීයක් කියන්න පුළුවන් අමල් හෝ නදිමාල් හෝ මේ මත්ද්‍රව්‍ය ජාවාරමටවත්, දියමන්ති ජාවාරමටවත්, ජනාධිපති ඝාතනයටවත් සම්බන්ධ නැහැ කියලා. මේ තාත්තයි පුතයි ගියේ සින්දු කියන්න.

කවුරුද මේ ගමනට වියදම් කළේ?

මේ සිද්ධිය ආරංචි වුණාට අමල්ගේ මිතුරනුයි අපි කිහිප දෙනෙකුයි එකතුවෙලා සාකච්ඡා කළ එහෙම තමයි මේ ගමනට මුදල් හොයාගත්තේ. ඩුබායි යන්න අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකකට යන්නේ රු. 50,000යි.
අපි ගිහින් නැවතිලා හිටියේ එහේ හිටපු අපේ, අමල්ගේ යාළුවන්ගේ ගෙවල්වල. ඒත් මෙහේ ගොසිප් ‍ගියා මම ලොකු හෝටල් කාමර අරගෙන එහේ ඉන්නවා කියලා.

ඔබ ගිය වැඩේ කරගෙන එන්නේ නැතුව සති තුනක්ම එහි රැඳී සිටියා.

අමල් බලන්න ගිය වෙලාවේ ඔහු මට කිව්වා ඊළඟ උසාවි දවසට ඇප ගන්න පුළුවන් වේවි. ඒකට මටයි පුතාටයි උදවු කරන්න කියලා. එක්කෙනෙක්ට ඇප දෙන්න ඩුබායි සිටිසන් තියෙන දෙන්නෙක් හැඳුනුම්පත් හෝ පාස්පෝට් දීලා ඇප වෙන්න ඕන.
එහෙම ඇප ලැබුණාම ඩුබායිවලින් පිට නොවී තාවකාලික වීසා යටතේ නඩුව ඉවර වෙනකම් එළියෙ ඉන්න පුළුවන්. ඉතිං මම එහේ නැවතිලා ඩුබායි පාස්පෝට් අයිඩන්ට් තියෙන මගේ යාළුවො දෙන්නෙකුයි අමල්ගෙ යාළුවො දෙන්නෙකුයි ඒ වැඩේට ලෑස්ති කර ගත්තා. නමුත් අපේ වැඩේ අසාර්ථක වුණා. ඔවුන් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා. මම එදා රෑම ලංකාවට ආවා.

මේ වෙද්දි අමල් ලංකාවට පැමිණීම පරක්කු වීම ගැන සැකයක් ඇතිවී තිබෙනවා.‍

ඒ අය එන්න ප්‍රමාද වෙන්නේ මධූෂ්ලා එක්ක මොනයම් හෝ සම්බන්ධතයක් තිබෙන නිසා කියලා ගොසිප් හැදෙනවා. ඩුබායි පොලිසිය විමර්ශනය කරන්නේ ලංකාවේ වගේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඕනැ විදියට නෙමෙයි. බොහෝම නිවැරැදිව අපක්ෂපාතීවයි.
ඒ අයට දේශපාලන හෝ මුදල්මය බල පෑමක් කළ නොහැකියි. සින්දු කියන්න ගිය තාත්තෙකුයි පුතෙකුයි අපරාධකාරයෝ කරන්න තරම් ඒ රටේ පොලිසියට පිස්සු නැහැ. ඒ නිසා විමර්ෂණ කටයුතු ඉවර වුණ හැටියේ තීන්දුව දේවි. මම විශ්වාස කරනවා නුදුරේදීම ඔවුන් ලංකාවට පැමිණේවි.

රසික කොටුදුරගේ