නල්ලතන්නිය, ශ්‍රීපාද පිවිසුම් පියගැට පෙළ ආරම්භක ස්ථානයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් ස්ථාපිත කර තිබූ ශ්‍රීපාදස්ථාන නාම පුවරුවේ දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් සඳහන් වැකි පෙරේදා (19දා) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් කළු නීත්තවලින් මකා දමා ඇති බව පවසමින් නල්ලතන්නිය ප්‍රදේශයේ
වතුකම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (20) පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙම නාම පුවරුවේ දමිළ භාෂාවෙන් “සිව නොලි පාද මලෛයි" හා ඉංග්‍රීසින් භාෂාවෙන් SRI PADAYA ලෙස සටහන් කර තිබූ වැකි දෙක මෙසේ කළු 
තීන්ත වලින් මකා දමා තිබුණි.

නාම පුවරුව මකා දමා ඇති පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එහිදී ඔවුහු පැවසූහ.  අනතුරුව මෙම ස්ථානයට පැමිණි හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ නල්ලතන්නිය ග්‍රාම නිලධාරී ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට කැඳවා ගෙන ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන  ලදී.

මෙහිදී අදහස් දැක්වූ පොලිස් අධිකාරීවරයා පවසා සිටියේ මෙවැනි සුළු සිද්ධියක් මුල් කරගෙන ජාතීන් අතර  මතභේදකාරී තත්වයක් ඇති නොවන අයුරින් ජාතික සමගිය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් අන්‍යෝන්න අවබෝධයෙන් ප්‍රශ්නය සමතයකට පත් කළ හැකි වූ බවයි.

මෙම මෙම නාම පුවරුවේ තීන්ත ආලේප  කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ අසල පිහිටි ආරක්ෂක කැමරා පරික්ෂා කර ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා  වැඩිදුරටත් පැවසීය.


- ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක-