https://www.gossiplankanews.com/2019/03/rail-track-death-nawalapitiya.html
ජංගම දුරකථනයෙන් මුහුණු පොතේ දසුන් බලමින් දුම්රිය මඟේ ඉදිරියට ගිය සිය පාසල් මිතුරිය පසුපසින් පැමිණෙන දුම්රියක ගැටීමට යනවා දුටු මිතුරකු ඇය බේරා ගැනීමට උත්සාහ ගැනීමේදී දෙදෙනාම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක් නාවලපිටියෙන් වාර්තා විය.
නාවලපිටිය නගරයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු යමින් සිටි
තිදෙනෙතු දුම්රිය මඟේ ගමන් ගනිද්දී මෙම අනතුර සිදුව තිබේ. මියගිය සිසුවාගේ පෙම්වතියද මේ අතිරේක පන්තියට පැමිණෙන අතර ඇය මියගිය  පියුමි භාග්‍යාගේ හොඳම යෙහෙළියද වන බව හෙළි වී තිබේ. අතිරේක පන්තියට පැමිණි මොවුන් තිදෙනාම නාවලපිටිය නගරයේ සිට දුම්රිය මඟේම කතා බස්

කරමින් ගමන් කර තිබේ.
ලලංග හර්ෂත් ඔහුගේ පෙම්වතියත් දෑත් පටලවා කතා කරමින් යද්දී පියුමි භාග්‍යා ඔවුන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් ජංගම දුරකථනයේ දසුන් නරඹමින් ගොස් තිබේ. මේ අතර පසුපසින් දුම්රිය පැමිණෙනවා දුටු ලලංග හා ඔහුගේ පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවත් වුවද දැඩි අවධානයෙන් ජංගම දුරකථනය දෙස බලමින් ගිය පියුමි මාර්ගයෙන් ඉවත් වී නොමැත.

දුම්රිය හා ඇය අතර පරතරය ඉතා අඩු බව දැක ඇති ලලන්ග වහාම ඇය ඉවත් කිරීමට උත්සාහ ගත්තද ඔවුන් දෙදෙනාම යට කර ගනිමින් දුම්රිය ඉදිරියට ගමන් කර ඇත. මෙහිදී පියුමිගේ සිරුර දෙකට වෙන්වී දුම්රිය මඟ වැටුණ අතර පාදයක්ද වෙන්වූ ලලංගගේ සිරුරද දුම්රිය මඟටම වැටී තිබිණි.

අවට සිටිය අය වහාම එම ස්ථානයට රොක් වුවද දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැක ඒ වනවිටත් අවසිහියට ලක්ව සිටි ලලංගගේ පෙම්වතිය නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.


මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි පියුමි භාග්‍යා සෙව්වන්දි නමැති අවු 14 වන පාසල් ශිෂ්‍යාවක් හා නාවලපිටිය දෙකිඳ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලලංග හර්ෂ කුමාර යන දෙදෙනායි. මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ සති අන්ත විශේෂ දුම්රියට නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා බිලි වී තිබේ.

මියගිය පියුමි නාවලපිටිය නගරයේ පාසලක 10 වසර පන්තියේ ඉගෙනුම ලබන අතර ලලංග හර්ෂ මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටි අයකුය.
නාවලපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා සෙනසුරාදා සවස දුම්රිය රියැදුරුගෙන් ප්‍රකාශයක් ගෙන ඇති අතර එහිදී මොවුන් තිදෙනා දුම්රිය මඟේ ඉදිරියට ගිය බවත් පසුපසින් පැමිණි
දුම්රිය නළා හඬ නඟන අවස්ථාවේ දෙදෙනෙක් ඉවත් වුවත් මොවුන්ට ඉදිරියෙන් ගිය ශිෂ්‍යාව අතේ තිබූ යමකට ඇඟිල්ලෙන් ඇන ඇන ගියද නළා හඬ ඇයට නොඇසෙන තරමට ඒ සඳහා අවධානය යොමු කර සිටි බවද ඒ සමඟ ඇය දෙසට මේ සිසුවා පනිනවාත් සමඟ දෙදෙනාම දුම්රියේ ගැටුණු බවත් ප්‍රකාශ කොට ඇත. මියගිය දෙදෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (3දා) සිදුකෙරිණි.

-මාධව බණ්ඩාර-