සංහිඳියාව යන වචනයට මුවා වී ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය එක්ව පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් වැලි සොරා ගන්නා බවත්, එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරින්ට  පහරදී, පළවා හරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයින් චෝදනා කරති.

ලංකා බනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීමට නොහැකිව බරපතළ ප්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.

මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන රාජ්‍ය දේපොළක් වන මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය ඉඩ නොදෙන බවත්, ඔවුන් මම වැලි නිධියෙන් රහසිගතව වැලි ලබා ගන්නා බවත් සභාපතිවරිය සඳහන් කළාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලීසියේ සහාය ඇතිව ලංකා ඛනිජ වැලි
සංස්ථාවේ සේවකයන් විසින් පසුගියදා මෙම වැලි නිධිය වෙන්කර වැට ගැසීම සඳහා  ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලනාධිකාරීය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු එක්ව එම කටයුතුවලට ඉඩ නොදුන් බවත්, එම ස්ථානයේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් ඇය පවසා සිටියාය.

අතිවිශාල මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයටලබාදෙන මෙම බනිජ වැලි සම්පත දේශපාලනාධිකාරියේ බූදලයක් බවට පත් නොකර රටේ පොදු සම්පතක් ලෙස ආරක්ෂා කිරීමට
බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ පවසති. ඛනිජ වැලි නිධිය වෙන්කර වැට ගැසීම සදහා පසුගියදා ගිය තමන්ට ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය
දේශපාලනාධිකාරීය පොලු මුගුරුවලින් පහර දුන් බවද එම සේවකයෝ ප්‍රකාශ කරති.

මෙම ප්‍රදේශයේ බහුතර ජනතාව මෙම සම්පත ආරක්ෂා කර ගැනීමට ඉදිරීපත් වුවද, දේශපාලන අධිකාරී ආගම්වාදය හා ජාතිවාදය ඉදිරියට දමා ඉතා සූක්ෂම ලෙස මෙම ඛනිජ සම්පත් රහසිගතව අලෙවි කිරීම සිදු කරන බවද ඔවුහු පවසති.

මෙම ජාවාරම්කරුවන්ට විරුද්ධව රාජ්‍ය නිලධාරි ක්‍රියාත්මක වීමේදී සහිඳියාවට බාධාවක් ඇතිවන බව පවසමින් දේශපාලන අධිකාරීය
කටයුතු කිරීම හේතුවෙන් විශාල මුදලක් රජයට අහිමි වන බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ ප්‍රකාශ කරති.

මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීම සඳහා වගකිව යුතු කිසිදු අංශයක් අවධානය යොමු නොකර, එක්තරා ඇමතිවරුන් දෙදෙනකුට අවශ්‍ය පරිදි මෙම වැලි නිධිය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම රාජ්‍ය සේවකයන්ටම සිදු කරන විශාල අපකීර්තියක් බවද ඔවුහු සඳහන් කරති.

ඉදිරියේදීද මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ට අඩන්තේට්ටම් හා පහරදීම් සිදුකර රාජකාරියට බාධා කළහොත් අනෙකුත් වෘත්තීය සමිති සහ රාජ්‍ය ආයතන දැනුවත් කර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහි සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.

මේ අතර, මෙම ක්‍රියාවලදී පුල්මුඩේ පොලීසිය ඉතා පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවට ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනී ඉන්දිකා රණතුංග මහත්මිය චෝදනා කළාය.

-එස්. කරුණාරත්න-