ළමා අපචාර චෝදනාවන්ට වරදකරු වූ ඕස්ට්‍රේලියානු කාදිනල් ජෝර්ජ් පෙල් හට මෙල්බර්න් අධිකරණයක් විසින් වසර 6ක සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ. දඬුවම් කාලයෙන් වසර 3ක් සහ මාස 8ක් සිරගෙදර විසීමෙන් පසු යහපත් කල්ක්‍රියාව මත ඉතිරී කාලය අත්හිටුවූ සිරදඬුවමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීප
විශ්වාසවන්තයකු වන මොහු වතිකානයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු ද වේ.

1996 වසරේදී ගීතිකා කණ්ඩායමේ 13 වියැති පිරිමි ළමුන් දෙදෙනකු බලහත්කාරයෙන් ලිංගික අපචාරයට යොදාගැනීම  ඇතුළු අතවර චෝදනා 5ක්  ඔහුට විරුද්ධව එල්ලවී තිබිණි.  චූදිතයා එකල අගරදගුරු තනතුරක් දැරූ හෙයින් හිංසනයට බඳුන් වූ දරුවන් ඔහුට විරුද්ධව පැමිණිලි නොකරනු ඇතැයි ඔහු දැඩිව විශ්වාස කරන්නට ඇතැයි පැමිණිල්ල කියා සිටියේය. 77 හැවිරිදි හිටපු කාදිනල්වරයාට දඩුවම් නියම කරමින් ප්‍රධාන විනිසුරු පීටර් කිඩ් පවසා ඇත්තේ, නිදහස් වීමට නියමිත දිනය දක්වා සිරකරු ජීවත් නොවනු ඇතැයි තමා සිතන බවයි.

 මේ අවස්ථාවේ චූදිතයා හිස් බැල්මකින් විනිසුරු දෙස  බලාගත්වනම සිටි බව වර්තා විය. අතවරයට ලක්වූ දරු දෙදෙනා අතරින් අයකු එකල දීප්තිමත් සිසුවකු වූ අතර, මෙම අතවරයෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී 2014 වසරේදී අකාලයේ  මිය ගිය බව නඩු විභාගය අතරතුර හෙළිදරව් විය. මෙම චෝදනචල කිසිදු පදනමක් නැතැයි කාදිනල්වරයාගේ කාර්යාලය මුලීන් නිවේදනය කර තිබිණි.