වාහන රැසක් හප්පා පලායමින් තිබූ කැබ් රථයක් නුගේගොඩ ගංගොඩවිල හන්දියේ දී නවතා පරික්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා සමග කෝටිපති
ව්‍යාපාරිකයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

 අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුන්දහස් හතළිහක් හා කේරළ ගංජා මිලිග්‍රෑම් එක් දහස් තිස් හතක් සොයා ගත් බව පොලිසිය කියයි.

සැකකටයුතු කැබ් රථයක් පිළියන්දල ප්‍රදේශයේ සැරිසරන
බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව එම අංශයේ නිලධාරින් පිළියන්දලට පැමිණ සැකකටයුතු කැබ් රථයට නවතන ලෙස සංඥා කළ බව පොලිසිය කියයි.

පොලිස් සංඥා නොතකා කැබ් රථය නුගේගොඩ දෙසට පලායාමේ දී පොලිස් නිලධාරින් ද ඒ පසුපස හඹා ගිය බව පොලිසිය කියයි. සැකකාර කැබ් රථය ධාවනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතු වාහන තිහකට අධික ප්‍රමාණයක් අනතුරට ලක් කර නුගේගොඩ හංදියෙන් මහරගම දෙසට හයිලෙවල් මාර්ගය ඔස්සේ පලා යාමේදී ගංගොඩවිල මාර්ග සංඥා පුවරුව අසලදී වාහන තදබදයට හසුවීමත් සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසියසඳහන් කරයි.

අයිස් හා කේරළ ගංජා මන්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි  මෙම පුද්ගලයා ඒවා විකිණීමේ ජාවාරමද සිදුකරන බව  සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

23 හැවිරිදි සැකකරු ටොරින්ටන් මාවත කොළඹ 05 පදිංචිකරුවෙකි. සැකකරු කැස්බෑව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-