අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ආධාරකරුවකුට මාවනැල්ල - දනාගම ප්‍රදේශයේ සිය නිවෙසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්  දෙදෙනකු පෙරේදා (09දා) අලුයම වෙඩි තබා පලා ගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් දනාගම - මාවනැල්ලේ පදිංචි 37 හැවිරිදි එම්.ආර්.එම්. තස්ලිම් යන අයගේ  හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මහනුවර මහ
රෝහල වෙත මාරු කර යවා  ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
තිදරු පියකු වන  වෙඩි වැදී  ඇති පුද්ගලයා සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන යන අතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා නිතී විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට ඔහු විසින් පොලිසියට, හමුදාවට සහාය ලබාදෙමින්  යහපත් සමාජයක්  නිර්මාණය කිරීමට  නිරන්තරයෙන් කැපවූ  අයකු වන අතර දනාගම මුස්ලිම් පල්ලියේ දායක සභාවේ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද පැවැසේ.

වෙඩි වැදීමෙන් පසුව නිදා සිටි ඇඳේ හිස පහළට සිටින සේ කකුල් ඇඳ මත තිබුණු බවත් වෙඩි වැදුණු විගසම වේදනාවෙන් “අම්මා, අම්මා” කියා කෑ ගැසූ බවත් එම නිවෙසේ පදිංචි ඔහුගේ මව සහ බිරිය මාධ්‍ය වෙත පැවැසූහ.
බිරිය පැවැසුවේ තමන් සිද්ධිය දකිනවිට කාමරය පුරා ලේ තිබුණු බවත් තම ස්වාමියා ඉවරයි කියා තමාට සිතුණු බවත් කීය. පසුව කෑ ගැසීම නිසා ප්‍රදේශවාසීන් පැමිණ මාවනැල්ල පොලිසියට දන්වා ඇති අතර ඒ වන විටත් යතුරුපැදිය ප්‍රදේශය අතහැර පලා ගොස් තිබිණි. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා නිවෙසේ පිටුපස පිහිටා ඇති  ‍ෙදාරකින් ගෙට ඇතුළු වී  වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. වෙඩි තැබීම වන අවස්ථාවේදී  ඔහු නිවෙසේ නිදාගෙන සිට තිබේ.

සිද්ධියට පැමිණි යතුරුපැදියේ සී.සී.ටී.වී. දර්ශන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇති අතර ඒවා මේ වනවිට පොලිසියේ පරීක්ෂණවලට යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති  බවද පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තරග කරන ලද අපේක්ෂකයකු වන බවයි.

එහි සිටි මාධ්‍යවේදියකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම තුවාල ලැබූ  පුද්ගලයා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිසියට තොරතුරු සැපයූ අයෙක් වන නිසා මේ වෙඩි තැබීම සිදුවූවාදැයි  මේවන විට සැකයක්  ඇති බව ප්‍රශ්න කිරීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ. මේ වනවිට එලෙස තොරතුරක්  වාර්තා වී නොමැති බවයි.

නැවත මාධ්‍යවේදියා විමසා සිටියේ පුත්තලම ප්‍රදේශයේදී අවි සොයා ගැනීමට පොලිසියට සහයෝගය ලබාදුන්නා ද යන්නයි. එයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ එවැනි දෙයක් වාර්තා  නොවන බවත්  පුත්තලමේ අවි සොයා  ගැනීමට  හා සැකකරුවන් සොයා ගැනීමට කටයුතු කළේ මාවනැල්ල පොලිසිය නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වන බවයි.

තවද මීට දින කිහිපයකට ඉහතදී ඔහුගේ නිවෙස ආසන්නයේ ස්ථානයක පොලිසිය සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟ සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට පත්ව තිබේ. එම සිද්ධියත් මෙම වෙඩි ප්‍රහාරයට ආසන්නම හේතුවක් වූවාද යන්න ගැන පොලිසිය සැක පළකරයි.
මාවනැල්ල පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.