මෙරට සිදුවූ මහ බැංකු වංචාවට  සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සදහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවසිය.

මෙම වගඋත්තරකරු සිටින බව කියන සිංගපූරුවේ රජය මේ ගැන මීට වඩා වගකීමක් ගතයුතුයැයී කී ජනාධිපතිවරයා, අඩුමතරමින් ඒ පුද්ගලයා එරට සිටිනේන්ද? නැද්ද? යන්න ගැනවත් පැහැදිලි ප්‍රකාශයක් සිංගප්පූරු රජය විසින් කළ යුතු යැයි සදහන් කළේය.

මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පරීක්‍ෂණ තවමත් කරගෙන යාම ගැන ද සතුටු විය හැකි වුවත්, එහි ප්‍රධාන වගඋත්තරකරු තම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැන තමා කනගාටු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අන්තර් ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් සිංගප්පූරු රජය මේ ගැන පසුබෑමක සිටින බව පෙනෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ අල්ලස් හා දූෂණය තුරන් කිරිමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ඊයේ (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එවමිනි.

තමා පසුගිය දිනෙක සිංගප්පුරුවේ පැවති එක්සත්  ජාතීන්ගේ ආසියාතික සංවිධානවල පරිසර සමුළුවට සහභාගිවීමට ගියේද එහි යෑමේ අවශ්‍යතාවක් තිබූ නිසාම නොව මහබැංකු වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු බාරදීම ගැන සිංගප්පූරු රජය සමය සාකච්ඡා කිරීම් අරමුණින් යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී තමා සිංගප්පූරු අගමැතිතුමා සමග සාකච්ඡා කර අන්තර්ජාතික වරෙන්තු නිකුත් වී ඇති සිංගප්පූරු පුරවැසියකු වන මෙම වගඋත්තරකරු අපට ලබාදිය නොහැකි දැයි ඇසූ බව් කී ජනාධිපතිවරයා, ඔහු සිංගප්පූරු පුරවැසියකු වුවද එවැනි ප්‍රශ්නයකට සමබන්ධ නම් ඒ ගැන කටයුතු කිරිමට තමා පසුබට නොවන බව එරට අගමැතිවරයා පැවසූ බව ද කීය.

 කෙසේ වෙතත් අද වනතුරු සිංගප්පූරු රජය මේ සම්බන්ධ පැහැදිලි විවෘත ප්‍රකාශයක් කර නැතැයිද ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහනා පැවසීය.

රටේ ජනාධිපතිවරයා වශයෙන් කමා කළ මෙම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සිරගප්පුරු රජයට වාර්තා කළත් තමාට ප්‍රශ්නයක් නැතැයි ද ඡනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
(ඩයනා උදයංගනී)