https://www.gossiplankanews.com/2019/03/kewuma-love-library-assistant.html
මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලබාලයින් අවි ආයුධ හා මත්කුඩු සමග කොටුවෙද්දී ඔහුගේ පාතාල ක්‍රියාකාරකම්වල අලගිය වැලගිය තැන් දැන් දැන් මතුවෙමින් පවතී. මදුෂ් සොරාගත් බව කියූ කෝටි 500 වටිනා බව කියන දියමන්තිය තිබූ තැනද දැනගන්නට ලැබුනේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයා බව කියන කැවුමා හෙවත් කැළුම් අත්අඩංගුවට ගත් පසුය.
කැළුම් හසුවූයේ පෑලියගොඩදී හේමාල් රංජන නමැති කොමියුනිකේෂන් අයිතිකරුවෙකු
හා කසුන් සඳරුවන් නමැති දෙදෙනෙකු හසුවීමෙන් පසු ඔවුන් ලබාදුන් ඔත්තු අනුවයි. ඔවුන් දෙදෙනාද දියමන්ති කොල්ලයට සම්බන්ධව සිටි අයයි. හේමාල් රංජන නමැති කොමියුනිකේෂන් අයිතිකරු සිය ආයතනය පවත්වාගෙන ගොස් තිබුනේ කඩුවෙලයි. ඔහු වීඩියෝකරණ හැකියාවෙන් යුතු අයෙකු බවද කැවුමාගේ

උපදෙස් මත මදුෂ්ගේ පියාගේ අවමගුල පටිගත කිරීමේ කාර්යය භාරගෙන තිබුනේ ඔහු බවද හෙළිවී ඇත. මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවය පටිගත කළ වීඩියෝ
 ඩීවීඩී පටයක් මීට දින දෙකකට පෙර මොරටුවේදි කොටුකරගත් කැවුමාගේ කුලී නිවසේදී පොලිසියට හසුව තිබුණි. එහි පිටපතක් තැපැල් මගින් ඩුබායිහි සිටින මධුෂ් වෙත අවමංගල්‍යය සිදුවූ දිනවල යැවූ බවද අත්අඩංගුවේ පසුවන කැවුමා ප්‍රකාශ කර තිබේ.
මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ වීඩියෝ දර්ශන ඇතුළත්  ඩීවීඩී තැටිය ඔස්සේ එම මළ ගෙදරට පැමිණි පාතාල සාමාජිකයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර කැළුම් ඉන්දික හෙවත් කැවුමා තම ඇත්ත නම සඟවා 'සමන්ත' යන ව්‍යාජ නමකින් පෙනීසිටිමින් මෙම කුලී නිවස මිලට ගන්නට මොරටුව රාවතාවත්තේ නිවෙස් හිමිකරුවන් වෙත පැමිණි බව වාර්තා කර තිබේ. නිවෙසේ ඉහල මාලයේ රැඳී සිටින අඹුසැමි යුවළට මෙම නිවස අයත්වූ අතර තමන් වෙත සමන්ත යන නමින් යුතු ව්‍යාජ ජාතික හැඳුනුම්පතක පිටපතක්ද සමග ඔහු ආ බවත් ඔහු සමග පුස්තකාල සහායිකාවක් යයි කියාගත් තරුණියකද පැමිනි බවත් එම යුවළ පවසා තිබේ.

පුස්තකාල සහායිකාව ඉන් පසුවද අවස්ථා ගණනාවකදී සමන්ත (කැවුමා) හමුවෙන්නට එහි ආගිය බවත් ඇය රඟපෑවේ සමන්තගේ පෙම්වතියක ලෙස බවත් අඹුසැමි යුවළ පවසා ඇත.

පසුගිය ජූලි මාසයේ නිවසට අදාළ කුලී මුදල් ලබාදෙන අවස්ථාවටද එක්වූ මෙම තැනැත්තිය පාතාල කටයුතු වලට සම්බන්ධ අයෙක්ද යන්න සොයාබැලීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මේ අතර පාතාල සිද්ධියට සම්බන්ධයක්  අතැයි සැක නැති නිසා අදාළ අඹුසැමි යුවළ නිදහස් කරන්නට පොලිසිය ඊයේ කටයුතු කර තිබේ.