පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ අනුදැනුම පරිදි මහරගම ඇරව්වල මැණික් ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය ඇතුළු මැණික් කොල්ලකෑමට යොදාගත් බව කියන ගිනි අවි දෙක පාතාල සාමාජිකයකු වන වෙඩි කන්දේ කසුන් නමැත්තා පදිංචි වත්තල හුණුපිටිය වෙඩිකන්ද වත්තක වළදමා තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් සොයාගෙන ඇත.මේවා විදේශීය රටක
නිෂ්පාදිත ඒවා වන අතර ගිනි අවි දෙකින් එකක් මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් බවද පොලිසිය කියයි.

එහි තිබී මිලිමීටර් නවයේ ජීව උණ්ඩ නවයක් මැගසින් දෙකක්ද පොලිසියට හමුවී ඇත. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මීට දින කිහිපයකට පෙර වෙඩිකන්දේ කසුන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මේ පිළිබඳව තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව කළ පරීක්ෂණවලදී පෑලියගොඩ වැලිහිඳ ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කැළුම් ඉන්දික සම්පත් හෙවත් ‘කැලුමා’ නමැත්තා සතුව කොල්ලකන ලද නිල් දියමන්තිය තිබෙන බවට අනාවරණය කරගෙන කැවුමා නමැත්තා කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 4 වැනිදාය.

පසුව පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙසක උඩුමහලේ අල්මාරියක  සඟවා තිබියදී අදාළ දියමන්තියද සොයා ගත් බව පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දින 7ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ. බස්නාහිර උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

-එම්.සී. පෙරේරා-