ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමතුමක් දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මියයෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කතා කිරීම තම අවසන් ප්‍රාර්ථනාව යැයි 44 හැවිරිදි ජේ බැරැට් නමැති එම පුද්ගලයා පවසා ඇත. ජේ බැරැට් ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදින අයෙකි. ඔහුගේ සිරුරේ ඉන්ද්‍රියන් සියල්ල පාහේ මේ වනවිට අක්‍රිය වී ගොස් ඇති බවත් ඔහු පෙනහළු ආසාදනයකින් ද පෙළෙන බවත් වෛද්‍යවරු කියති. ජේ බැරැට් ට  සොහොයුරියක සිටින අතර ඇය බ්‍රිජෙට් හොස්කීය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන බ්‍රිජෙට් දිස්ත්‍රික් කවුන්සිල සාමාජිකාවකි.


රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් ට, මරණ මංචකයේ සිටින බැරැට්ගේ අවසන් ප්‍රාර්ථනාව ගැන දැනගන්න ලැබී ඇත්තේ බ්‍රිජෙට්  හරහාය. ජේ බැරැට්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින් ඔහු මේ වනවිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ට්‍රම්ප්ට දැනගන්න ලැබී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් ඔහුට ඇමැතුම ලබා දුන්නේය.

''ඔබ හොඳ කෙනෙක්. කතාවෙන් ඒ බව පෙනෙනවා. මට ඔබේ ඡායාරූපයක් දකින්න ලැබුණා. අසනීපයක් තිබෙනවා පෙනෙන්නේ නැහැ. හොඳ තරුණ පෙනුමයි. උත්සාහය අත්හරින්න එපා." ආදී වශයෙන් ජනපති ට්‍රම්ප්, ජේ බැරැට්ට පවසා ඇති බවද දෙදෙනා මිනිත්තු කීපයක් ඉතා සතුටින් කතාබහ කළ බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තමාගේ අන්තිම කැමැන්ත ඉටු කර දීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ට තමන් ස්තුති කරන බවත්, ට්‍රම්ප් සැබැවින්ම නිහතමානී තැනැන්නකු බවත් ජේ බැරැට් පවසා ඇත.

වොෂින්ටිනයේදීය (ඒ.එෆ්.පී)