https://www.gossiplankanews.com/2019/03/borella-oic-accident-updates.html
මීට සති දෙකකට පමණ ඉහතදී රටේම අවධානය දිනාගනිමින් බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක බොරැල්ලේ ට්‍රැෆික් පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක්වූ අතර පසුගිය සෙනසුරාදා රෑ ඔහු මියගියේය.මෙම අනතුර අත්වැරැද්දක් ලෙස සිදුවූවක් නොවූ අතර
පැහැදිලි ලෙසම මාර්ග නීති උල්ලංඝනය කරමින් රතු සංඥාවේදී රිය ධාවනය කර අනතුරින් පසු හිතාමතාම නොනවත්වා (හිට් ඇන්ඩ් රන්) පළායාමක්ද සිදු කළ අමානුෂික ගණයේ සිද්ධියක් විය.

මෙම සිදුවීම සිදුවූ විගසම වාහනය පැදවූ අය ගැන හෙළිවූයේ නැත. පැය ගණනාවකට පසු මුලින් කියැවුනේ ජනපති ආරක්ෂක අංශයට අයත් පොලිස් අධිකාරිවරයෙකුගේ පුතෙකු එම රිය පැදවූ බවයි. දෙවනුව කියැවුනේ එම රථයේ ගමන් කළ රාජකීය විද්‍යාල සිසු යහලුවන් පිරිස අතර දේශපාලනඥ මහින්දානන්ද අලුත්ගමගේගේ පුතුද තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ පුතුද සිටි බවයි. මේ අතර

තරුණියකද සිටි අතර ඩිෆෙන්ඩරය සහ අනෙක් වාහනයේ ගමන් කළ 8 දෙනාම පොලිස් අත්අඩංගුවට පත් විය.

නමුත් දිගටම අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ වාහනය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයාගේ පුතු වන නවිදු රත්නායක යන අයයි. අනෙක් අයට ඇප ලැබුණි.
තම පුතු ඇප ලබා නිදහස් වූ දිනයේ මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍යයට කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ තම පුතු සිටියේ වාහනයේ පිටුපස බවයි.

මෙම ඇප ලබාදීම සිදුවූ නඩු විභාගය පැවැත්වූයේ රහසිගත ආකාරයටයි. විනිසුරු සියලු මාධ්‍ය වාර්තා කරුවන්ට අධිකරණයෙන් පිටතට යන ලෙස දන්වා කරුණු විභාග කළ අතර දිගු කලෙක සිට අධිකරණ වාර්තා සිදු කරන මාධ්‍යවේදීන් ඒ අනුව අන්දුන් කුන්දුන්ව ඉවතට ගොස් තිබුණි. විනිසුරු එවැනි ඉල්ලීමක් කරන්නට හේතුවූයේ කවරක්දැයි ඔවුන් මවිතයට පත්ව තිබුණි.මේ නිසා  එම විභාගයේදී අනතුර සම්බන්ධයෙන් කවර කරුණු අනාවරණය වූයේදැයි මාධ්‍ය තුළට ආවේ නැත. වාහනය පැදවූයේ  නවිදු බවත් මහින්දානන්දගේ පුතුට පසුදිනම ඇප ලැබුණ බවත් පමණක් කියැවිණි.

මේ අතරවාරයේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මෙම මරණීය අනතුරේ වගකීම මහින්දානන්ද අලුත්ගමගේගේ

පුතුට පවරා විවිධ සටහන් පළ විය.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස් මූලස්ථානයේදී රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත්  රෝහණ මහතා විසින් මාධ්‍ය හමුවක් ඊයේ (10දා) කැඳවා තිබිණි.
එහිදී හෙතෙම සඳහන් කළේ මෙම අනතුර සිදු වීමට ප්‍රථම මෙම පිරිස රාත්‍රි සමාජ  ශාලා කිහිපයකට ගොස් ඇති බවත්, එම සමාජශාලාවල සවිකර ඇති සී.සී.ටී.වී දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ප්‍රධාන සැකකරු වන නවිදු රත්නායක විසින් බවත්ය.

එහෙත් මෙම ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ වෙනත් අයකු විසින් බැව් සමාජ මාධ්‍යවල මේ දිනවල පළ වන බවත් එය අසත්‍යයක් බවත්ය.
එවැනි තොරතුරු ෆේස්බුක් වෙත මුදා හැර ඇති 15 දෙනකුගේ ෆේස්බුක් ලිපිනයන් ලබා ගෙන ඔවුන්ව ඉදිරියේදී සාක්‍ෂි සඳහා අධිකරණය වෙත පමුණුවන බවත් අජිත් රෝහණ මහතා ඊයේ සඳහන් කළේය.
අදාළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට කටයුතු කරන බවද අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය ප්‍රශ්න සහගත බවත් ඒ පිළිබඳව විමර්ශනයක්ද කරන බවත් ඔහු කියා සිටියේය.
ජීවිතක්‍ෂයට පත්වූ ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11දා) දින පස්වරු 4.00ට පූර්ණ පොලිස් ගෞරවය සහිතව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.