ත්‍රිවිධ හමුදා නිලධාරින් හාවිත කරන නිල ඇඳුමට  (කැමා ඇදුම්) සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිත කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව කියයි. හමුද පනතට අනුව
හමුදාව හාවිත කරන නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස 6ක සිර දඩුවම් නියම කළ හැකි බව ඊයේ (25)  කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පැවසීය. හමුදා නිල ඇඳුම් රෙගුලාසි යටතේද හමුදා නිල ඇඳුම් 
හෝ නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කිරීමට නීතිමය බාධා පවතින බව හෙතෙම පැවසීය.

විශේෂයෙන් රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලදී හමුදා ඇඳුමට සමාන ඇඳුම් විශාල වශයෙන් හමු වී ඇති නිසා මෙවැනි නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. “හමුදා ඇඳුම් සිනමා නිර්මාණයකට යොදා ගන්නවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර තිබෙනවා. මේ එක් අතකින් යුද හමුදාවේ අභිමානය සම්බන්ධ ගැටලුවක්. අනෙක් අතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්. මේ සම්බන්ධයෙන් යුද හමුදාව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිනවා.” යැයි පැවසීය.

-රසිකා හේමමාලි-