ප්‍රකට තාරකා විද්‍යාඥයකුට අයත් නිවෙසක් පිරිසුදු කිරීමට පැමිණ එහි තිබූ රුපියල් අටලක්ෂ හැත්තෑ දහසක් වටිනා ජංගම දුරකථනයක් හා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලාගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත්
බව කිරුළපන පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ විනය හේතූන් මත යුද හමුදාවෙන් ඉවත් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි (43) පුද්ගලයකු හා (42) කාන්තාවක බව පොලිසිය කියයි.  මෙම අඹු සැමි යුවළ වසර 3ක සිට මසකට වරක් කිරුළපන සෝමාදේවි මාවතේ පිහිටි තාරකා විද්‍යාඥවරයාගේ
නිවස පිරිසුදු කිරීමට පැමිණ ඇතැයි පැවැසේ.

මෙවර පැමිණි අවස්ථාවේදී නිවසේ කාමරයක අල්මාරියේ තබා තිබු රුපියල්  7,10,000 වටිනා රන්මාල 2, රන් වළලූ ද, රන් මුදු  2 මෙසේ සොරාගෙන තිබූ බව පොලිසිය පවසයි.  ජංගම දුරකථනය සෙවීමේදී එය නොමැති බවටත් වැඩිඳුර නිවෙස පරික්ෂා කිරීමේදී රන් භාණ්ඩ තොගය නොමැති බවටත් දැන ගැනීමෙන් පසු ඒ පිළිබඳව කිරුළපන පොලිසියට පැමිණිල්ලක් දමා තිබිණි. මේ අතරතුර, ජංගම දුරකථනය විකිණීම සඳහා සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ අලෙවි සලකට පැමිණ එය විකිණීමට අලෙවිසල් හිමිකරු සමඟ කතා බහ කිරීමේදි වටිනා ජංගම දුරකථනයක් සැකකරුට ලැබුණේ කෙසේ දැයි සැක සිතුණු අලෙවිසල් හිමිකරු ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමේදී බියපත් වූ සැකකරු ක්ෂණයකින් අලෙවිසලෙන් පිටතට පැමිණ පලාගොස් තිබේ.

ඒ වන විට ගනුදෙනුව සඳහා විදේශ ගමන් බලපත්‍රයද අලෙවිසල් හිමිකරුට දී තිබු අතර එයද දමා මේසේ පලාගොස් තිබිණි. අලවිසල් හිමිකරු ජංගම දුරකථනය පරීක්ෂා කොට එහි තිබූ අංකයකට ඇමැතුමක් ගැනීමේදී එය ප්‍රකට තාරකා විද්‍යාඥවරයකුට අයත් එකක් බවට  අනාවරණය වීමත් සමඟ ඒ බව 119 හදිසි ඇමතුම්
අංකයට දන්වා පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ. පොලිසිය එම අලෙවිසලට ගොස් විදේශ ගමන් බලපත්‍රයේ ලිපිනයට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු තාරකා විද්‍යාඥවරයාගේ නිවෙස පිරිසුදු කිරීමට පැමිණි පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

දිගින් දිගටම එම නිවෙස පරික්ෂා කිරීමේදී එදා අල්මාරියක සඟවා තිබියදී හෙරොයින්  මිලිග්‍රෑම් 900ක්ද පොලිසිය සොයා ගත් බව කියයි. ඒ අනුව අඹු සැම් යුවළ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පිළිබඳව විමර්ශන කිරිමේදී යුද හමුදාවේ සේවය කරමින් සිටියදී විනය හේතුන් මත ඉවත් කළ අයකු  බවටත් හෙරොයින් පානයට තදින් ඇබැහි වූවකු බවටත් අනාවරණය වූ බව පොලිසිය පවසයි. සොරාගත් රන් භාණ්ඩ තොගය සොයාගෙන නොමැති අතර එය සොයා විමර්ශන අරඹා ඇත. සැකකරු හා බිරිය අලුත්කඩේ අංක iii අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



-හෂාන් පුෂ්පික-