ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද යෝජනාවක් අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති පිඩාවන් පිළිබද අවධානය යොමු කරමින් එම තීරණයට එළඹි බව පෙරේදා (25) පොළොන්නරුව රාජකීය
විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ  "මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය" සිසු අයිතියට පවරා දීම් අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක්
ලබාදීමේ අරමුණින් වුවත් වර්තමානය වනවිට එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත් වීමේ තරගයක් වී ඇති බව ජනාධිපතිවරයා සදහන් කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බවට සංඛ්‍යා ලේඛන මගින් හෙළි වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

එබැවින් සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත් වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් පැවැසීය. ශිෂ්‍යත්වය ගැන තීන්දුවක් ගැනීමට මීට මාස කිහිපයට පෙර විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර ඔවුන් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එම විශේෂඥයින් ශිෂ්‍යත්ව විභාගය හඳුන්වා දී තිබෙන්නේ ශිෂ්‍යාධාර ලබාදීම සහ ජනප්‍රිය පාසැල් සඳහා සිසුන්ට ඇතුළත් වීම සඳහා අවස්ථාව සලසා දෙන විහාගයක් ලෙසිනි.

නමුත් විහාගයෙහි පවත්නා තරගකාරිත්වය හේත්තුකොටගෙන සිසුන්ගේ මනසට අයුතු බලපෑමක් සිදුවන බව ඔවුන් පවසා තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා චක්‍රලේඛයක් මගින් ශිෂ්‍යත්වය අනිවාර්ය විහාගයක් නොවන බවට සහ ශිෂ්‍ය හිතකාමී විභාග ක්‍රමයක් බවට පත්විය යුතු බවට ප්‍රකාශ කළේය. මෙකී නිර්දේශ මත කඩිනමින් ශිෂ්‍යත්වය ගැන තීන්දු තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍යගය පවසයි. එසේම ඉදිරියේදී යම් හෙයකින් ශිෂ්‍යත්ව විභාගව නැවැත්වුවද සිසුන් සදහා ලබා දෙන ශිෂ්‍යාධාර නොනවත්වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

-දිනුක මලින්ද හේරත්-