සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.



ඒ අනුව එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එම විත්තිකරුවන් නිදහස් කිරීමටද නියම කර තිබෙනවා.

සම්පත් අබේකෝන්(සභාපති), සම්පත් විජයරත්න චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පොදු දේපල පනතේ 5. 3 උප වගන්තිය යටතේ ගැනෙන සොර බඩු ළඟ තබාගැනීම යන චෝදනාව යටතේ ගොනු කර ඇති බවත් එම චෝදනාව විභාග කිරීමට අධිකරණ සංවිධාන සංශෝධන පනතේ 6 වන උපලේඛනය යටතේ මෙම අධිකරණයට බලයක් නොමැති බවටත් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එම මූලික විරෝධතාව පිළිගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ සොර බඩු ළඟ තබා ගැනීමේ චෝදනාව සහ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව විතිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරන බවත් විත්තිකරුවන් නිදහස් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල නියම කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා දන්වා සිටියේ එම විත්තිකරුවන්ට එරෙහිව සාමාන්‍ය මහාධිකරණය හමුවේ නඩු පැවරීම හෝ මෙම තීරණයට එරෙහිව ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේ දී නීතිපතිවරයා විසින් තීරණයක් ගන්නා බවයි.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා විසි හතරක් යටතේ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් යන විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.