https://www.gossiplankanews.com/2019/03/Badurdeen-Speaks-About-Wilpattu-Issue-in-parliament.html
මාත්‍ය රිෂාඩ් බදූර්දීන් විල්පත්තු රක්ෂිත කලාපයේ කැලෑව එලිය කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවත් මේ හේතුවෙන්  ලංකාවේ සිදුවූ වන විනාශය ගැනත් මෑත කාලයේ පවතින අධික රස්නය ඇතුළු පාරිසරික බලපෑම් රැසක් මේ නිසා පැන නැගී ඇති බවටත් දිගු කලෙක සිට සමාජ මාධ්‍ය තුළ කරුණු සංසරණය විය.
මේ අතර නාගානන්ද කොඩිතුවක්කු මේ ගැන අධිකරණයට කරුණු දැක්වීම සිදුවූ පසුගිය සතිය ආසන්න වනවිට මේ ගැන සමාජ මාධ්‍ය කථාබහ වැඩිවිය.
නමුත් පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු බලධාරීන් රැසක් මේ ගැන නිහඬ පිළිවෙතක් රැකීම නිසා
මේ ගැන කිසිවෙකු වගනොකියන තත්තවයක් පෙන්නුම් කර තිබිණි.
මේ අතර ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විල්පත්තු ආශ්‍රිත පරිවාර වන කලාපයෙන් ඉඩම් බෙදාදීමක් සිදුව ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  විසින් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් වෙත ප්‍රශ්නයක් යොමු කරනු ලැබීය.
ඊට බදූර්දීන්  ඇමතිවරයා දීර්ඝ පිලිතුරක් සැපයූ අතර මිනිත්තු 25 කට ආසන්න වේලාවක් ‍මේ ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇතිවිය.

බදූර්දීන්  ඇමතිවරයා කියා සිටියේ මේ ගැන පළව ඇති ප්‍රචාර බොහොමයක්

සත්‍ය තත්වය නොදැන පළවන ඒවා බවයි. යුද සමයේ උන්හිටිතැන් අහිමිවූ තමා ඇතුළු විශාල පිරිසක් සිටි බවත් පුත්තලමේ අවතැන් කඳුවරක සිට ඡන්දය ඉල්ලූ තමාව තම ජනතාව පත් කළේ එම ප්‍රශ්න වලට විසඳුමක් ලබාගැනීම සඳහා බවත් ඒ අනුව මහින්ද රජය සමයේ නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ධූරයක් තමාට ලැබුණ බවත් කීවේය.

යුද්ධයෙන් අවතැන්වූවන්ට ක්ෂණික විසඳුමක් ලෙස නැවත පදිංචිකරවීමේ ව්‍යාපෘතියක් එවක බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ බවත් කමිටුවක් මගින් පවරාගත යුතු ඉඩම් ජීපීඑස් තාක්ෂණයෙන් වර්ග කර නීත්‍යානුකූලව වෙන් කරන ලද බවත් කීවේය.


ඒ සඳහා ඉඩම් පවරාගෙන ඒ අනුව අක්කර දෙදහස් ගණනක කැලෑ එළි කරන ලද්දේ රජයේ නියෝග මත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා මූලික වීමෙන් මිස තම ජනතාවගේ පුද්ගලික ඕනෑ එපාකම මත නොවන බවත් දන්වා සිටියේය.තමා ඒ වනවිට නැවත පදිංචි කිරීමේ ඇමති නොවූ බවත් මෙම නියෝගයට අත්සන් තබන ලද්දේ එවක ඇමති අනුර ප්‍රියදර්ශන යාපා බවත් දන්වා සිටියේය. මේ ආකාරයට ලංකාව පුරාම විවිධ තැන්වල නැවත පදිංචි කිරීම් සිදු කර තිබෙන බවද කීය.
කෙසේ වෙතත් එසේ එලි කරන ලද කැලෑව විල්පත්තු රක්ෂිතයට අයත් නොවන බවද ඔහු දන්වා සිටියේය.

විල්පත්තුව පිහිටියේ අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්ක තුළ බවත් තම ජනයා පදිංචිවූයේ මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩමක බවත් ඔහු කීය.
මෙම ජනතාව සඳහා  ඉඩම් නීත්‍යානුකූලව ලබා දුන්නේ 2012 වසරේදී බවත් 2012 ඒ අවට කලාපයද රක්ෂිතයක්

ලෙස ගැසට් කර ඇති නිසා කිසිවෙකුට එළි කිරීමට නීත්‍යානුකූල බලයක් හෝ නැති බවත් කීය.

පසුගිය අවුරුදු 7 තුළ බිං අඟලක් හෝ ලබාදී නොමැති බවත් කැලෑ එළිකරමින් පවතින බව පට්ටපල් බොරුවක් බවත් වැඩිදුරටත් දන්වා සිටියේය.
විල්පත්තු වනය එළිකරන බවට තමන්ට මෑතකදී අසාධාරණ ලෙස යළි චෝදනා එල්ල වන්නේ තමන් අරුවක්කාලු කසල අංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර තමන් එසේ වන විනාශයක් කර ඇත්නම් තමන්ට ඕනෑම දඬුවමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

එසේම අද විල්පත්තුව එලිකරනවා යයි තමාට වැරදි චෝදනා කරන අය ඇත්තටම විල්පත්තුව ඇතුලේ හෝටල් තුනක් ඉදිකරමින් සිදු කරන වන විනාශය ගැන කතා නොකරන බවද කියා සිටියේය.
මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා දන්වා සිටියේ තමා දෙරණ ටීවී වැඩසටහනකින් දැකගත් පරිදි මොල්ලිකුලම් කැලෑවක් එළිකරමින් සිටින බවත් කර්මාන්ත පුරයක් ඉදිකරන බව ආරංචි බවයි. ඊට පිලිතුරු දුන් බදුර්දීන් ඇමති ඒ සම්බන්ධ තවම පවතින්නේ අධ්‍යයන වාර්තාවක් සැකසීම මිස වාර්තාව පවා තවම අනුමත නැති බවත් කැලෑවක් එලි කරන්නට කිසිවෙකු කටයුතු කර නැති බවයි.

විල්පත්තුව සම්බන්ධයෙන් බදුර්දීන් ඇමතිවරයා ප්‍රකාශය කරන අතර විපක්ෂයෙන් කථා කළේ මහින්දානන්ද,අනුර ප්‍රියදර්ශන හා මහින්ද අමරවීර යන අය පමණි. ආණ්ඩු පක්ෂයේ සභානායක කිරිඇල්ල හා වත්මන් ඇමති ජෝන් අමරතුංග දැක්වූයේ කෙටි අදහස්ය. ඔවුන් පවසා සිටියේ මෙම පවරාදීම මේ ආණ්ඩුවෙන් කළ දෙයක් නොවන බව පමණි.
සම්පූර්ණ විවාදයේ  වීඩියෝව පහතින්