අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පසුගිය වසරේදී වසර 06ක සිර දඬුවම් නියම කර බන්ධනාගාර රෝහල් ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට
ජනපති සමාව ලබාදෙන්නට යන බවට ආරංචි පැතිර ගියේ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල
සිරිසේන හා එක්වී පසුගිය ඔක්තෝබරයේ පිහිටුවන්නට උත්සාහ කළ නව රජය වකවානුවේය.

ඒ වෙනුවෙන් හිමියන්ට හිතවාදී භික්ෂූ සංවිධාන උද්ඝෝෂණ වලද නිරත විය. අනතුරුව 2019 පෙබරවාරි 4 වනදා නිදහස් දිනය නිමිති කර ජනපතිගේ පොදු සමාව හිමිවන වාර්ෂික සිරකරු ලැයිස්තුවේ හිමියන් සිටිනු ඇති බවට වාර්තා පළවුවත් ඒ දිනවල විවිධ සමාජ සංවිධාන වල විරෝධතා මැද එවැන්නක් සිදුවූයේ නැත.

විශේෂයෙන් විද්වතුන් පෙන්වා දී තිබුනේ ජනපති එවැන්නක් සිදු කළොත් මෙරට අධිකරණය සම්බන්ධ විශ්වාසය අහිමිවනු ඇති බවයි. ඒ වෙනුවෙන් වූ විරෝධතා ලේඛනයට අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහද අත්සන් කිරීම විශේෂ බලපෑමක් විය.
කෙසේ වෙතත් නිදහස් සමරුවට මාසයකට පසු හෙට 4 වන දිනයේ ඥාණසාර හිමියන්ගේ උපන් දිනය දවසේ එහිමිට ජනපති සමාව ලැබෙනු ඇති බවට නැවතත් ආරංචියක් පැතිර ගොස් ඇත.
ජනපති කාර්යාලයට සම්බන්ධ සමාජ ජාලා හසුරුවන නියාමකයෙකු මේ ගැන සිය ෆේස් බුක් සටහනකින් ඉඟි කර තිබීම නිසා මෙම ආරංචිය ගැන විශේෂ අවධානයක් යොමුව තිබේ.