2019 මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 දෙනෙක් ලියාපදිංචි වී සිටින බවත් විදේශීය ශ්‍රමිකයන් සදහා ලබාදන ක්‍රියාකාරී සේවා නියුක්ති බලපත්‍රද ඔවුන් සඳහා නිකුත් කර ඇති බවත් ඊයේ
කළ විමසීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර 7,991ක්, පෞද්ගලික අංශයේ සමාගම් සදහා බලපත්‍ර 10,354ක්, බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා බලපත්‍ර 10,077ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා බලපත්‍ර 169ක් නිකුත් කර ඇත. ඒ අතුරින් චීන ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 10,384ක් සහ ඉන්දියානු ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 11,095ක් නිකුත් කර ඇත.

2019 පෙබරවාරි මස 15 වැනිදා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නේවාසික වීසා අතර ප්‍රධාන රටවල් 5ක් සඳහා වීසා නිකුත් කර තිබේ. ඒ අතර ඉන්දියානුවන්ට නේවාසික වීසා සංඛ්‍යාව 10,754කි. ඒ . අතුරින් බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා වීසා බලපත්‍ර 5,405ක්ද පෞද්ගලික අංශය සදහා 4,253ක්ද රජයේ ව්‍යාපෘති සඳහා 1,093ක්ද වීසා නිකුත් කර තිබේ. එසේම චීන ජාතිකයන් සඳහා වීසා 10,298ක් නිකුත් කර තිබේ. චීන ජාතික සේවකයන් අතරින් බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා වීසා බලපත්‍ර 1,648ක්, පෞද්ගලික අංශය සඳහා 3,259ක්, රජයේ ව්‍යාපෘති සඳහා 5,391ක්, නිකුත් කර ඇත.

බංගලි ජාතිකයන් සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍ර ගණන 575කි. ඒ අනුව බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා වීසා බලපත්‍ර 463ක්, පෞද්ගලික අංශය සඳහා 73ක්, රාජ්‍ය ව්‍යාපෘති සඳහා 39ක් ලබාදී තිබේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් සඳහා වීසා 573ක් නිකුත් කර ඇති අතර ඒ අතුරින් බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා වීසා 272ක්, පෞද්ගලික අංශය සඳහා 262ක්, රජයේ ව්‍යාපෘති සඳහා වීසා 39ක්  නිකුත් කර තිබේ.

කොරියානු ජාතිකයන් සඳහා වීසා 498ක් නිකුත් කර තිබේ. බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා 258 , පෞද්ගලික ව්‍යාපෘති සඳහා 89, රජයේ ව්‍යාපෘති  සඳහා වීසා 151ක් ලෙසිනි. ලක්ෂයකට අධික සංඛාවක් විදෙස් ජාතික ශ්‍රමිකයන් මෙරට සේවය කරන බවට මත පළවුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කරයි. මෙරට සේවය කරන විදෙස් ජාතකයන් අතරින් වැඩි ප්‍රමාණයක් චීන ජාතිකයන් බව මතයක් තිබුණත්  වැඩි වශයෙන් මෙරට සේවය කරන්නේ ඉන්දීය ජාතිකයන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වැඩිදුරටත් හෙළි කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇති වීසා සංඛ්‍යාවට වැඩි විදෙස් ජාතිකයන් සංඛ්‍යාවක් මෙරට සේවය කරන බව විටින් විට පොලිසිය විසින් සිදුකරන වැටලීම්වලින් පැහැදිලි වේ. පසුගිය පෙබරවාරි 02 වැනිදා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ මතුගම කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 49 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට පෙර සතියේ ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක එලස සේවය කරමින් සිටි සේවකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


-රසිකා හේමමාලි-