වැරැදි දුරකථන අංකයකට ඇමතීමන් එකිනෙකා හඳුනාගත් වයස අවුරුදු 18ක අගලවත්තේ තරුණියක් හා වයස 40 ක මාවනැල්ල  පදිංචි පුද්ගලයකු අතර ඇතිවූ පෙම් සබඳතාවක් මත එම පුරුෂයා, තරුණිය වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී තරුණියගේ පියාගේ පැමිණිල්ලක් මත අගලවතේදී පොලිසිය අල්ලාගෙන තිබේ. මීට මාස දෙකකට පමණ ඉහත තරුණිය වැරැදීමකින්  තම දුරකථනයට ගත් ඇමතීමක් හේතුවෙන්
දෙදෙනා හඳුනාගෙන ආදරවන්තයන් වූ බවත් පසුව දෙදෙනාගේම කැමැත්තෙන් තම ගමට ගොස් සතියක් පමණ එකට ජීවත් වූ බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට පවසා තිබේ.

එකට ජීවත් වෙමින් සිටියදී තරුණියගේ මවුපියන්ගේ ඉල්ලීමට කොළඹට පැමිණි අවස්ථාවක තමන් ආමර්වීදිය පොලිසියට ගෙන ගොස් මවුපියන්
තරුණිය රැගෙන ආ බවත් ඔහු පවසා තිබේ. තරුණිය දිගින් දිගට තමාට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් ඇයව නැවත රැගෙන යන ලෙස කළ ඉල්ලීම් නිසා පසුගිය දිනක බියගම සිට වෑන් රථයකින් අගලවත්තට පැමිණ තරුණිය රැගෙන යමට කටයුතු කළ බවත් ඔහු පවසා ඇත.  මෙම පුද්ගලයා තරුණිය වෑන් රථයකින් පැහැරගෙන යන බව පවසමින් ඇගේ පියා අගලවත්ත, දාපිළිගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා මඟ හරස් කර වෑන් රථය අල්ලාගෙන තිබේ.

පසුව අගලවත්ත පොලිස් ස්ථානයට භාරදී ඇත. ඒහිදී උප පොලිස් පරික්ෂක එම්.ආර්. ටී.ආර්. මධුරංග මහතා ඉදිරීයේ දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසූ අතර වයස විවාහයට සම්පුර්ණව ඇති තරුණිය  හා ඇගේ කැමැත්ත මත මෙම පුද්ගලයා සමඟ යෑම හේතුවෙන් නීති විරෝධී කිසිවක් වී නැති බව අවධාරණය කර ඇත.  පසුව තරුණිය මවුපියන්ට භාරදීමටත් සැකකාර පුද්ගලයා පොලිස් ඇප මත නිදහස් කිරීමටත් අගලවත්ත පොලිසිය කටයුතු කර තිබේ. මෙසේ පොලිස් ඇප මත මුදාහැරුනේ මාවනැල්ල පදිංචි කොන්ත්‍රාත් ක්‍රමයට පෙදරේරූ වෘත්තියේ යෙදෙන 40 හැවිරිදි පුද්ගලයෙකි.


-ප්‍රභාන් බුලත්සිංහල-