පාසල් දැරීයකට ආදර හසුන් ලියු හතළිස් තුන් හවිරිදි විවාහකයෙක් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පැවසීය. වයස අවුරුදු දාහතරක් වන දැරිය මේ පිළිබදව තම මවට පැවැසීමෙන් පසු මව කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ හල්මිල්ලෑව මානෙල්වැව පදිංචී දෙදරු පියෙකි.
සැකකරුගේ බිරිය කලක සිට ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුගේ වයස එකොළහක සහ වයස අටක දරුවන් දෙදෙනා කිරි අම්මා ළග ජීවත් වෙයි. සැකකරු කම්කරු වැඩ සඳහා යන නිවසක පාසල් දරීයකට මෙලෙස පෙම්පත් ලියා දී ඇතැයි පොලිසිය කීවේය.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බාල
වයස්කාර දැරීය පවසා ඇත්තේ කිසිදු නමක් සඳහන් නොකරමින් සැකකරු ප්‍රථමයෙන් පිටුපහක ලිපියක් තමාට දුන් බවයි. ඒ සමඟ ගවුමක් මිලදී ගන්නා ලෙස පවසා රුපියල් දහසක්ද ලබා දුන් බවය. එහි නමක් හෝ සඳහන් නොවූ නිසා තමන් එම ලිපිය විසිකර දැමූ බවත් පසුවද ගණ දෙවියන්, විෂ්ණු දෙවියන් වැනි දෙවියන් ගැන සඳහන් කරමින් විවිධ වර්ණනා කරමින් සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර කර ලියූ ලිපි ලියා කියවිය හැකිදැයි බලන ලෙස පවසා ලබා දුන් බවත් මින් ලිපි කිහිපයක් බලා විසිකර දැමූ බවත් ලිපි කිහිපයක් නොබලා විසිකර දැමූ බවත් පවසා ඇත.

පසුගිය 21 වැනි දින මෙම පුද්ගලයා නැවත තමන්ට ලිපියක් ලබා දුන් බවත් එහි තම ආදරය ඉල්ලා ඇති අතර එම ලිපිය මවට පෙන්වූ බවත් ඇය පවසා ඇත. පසුව මව සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක තිස්ස රත්නායක මහතා උපක්‍රමශීලීව දුරකථන ඇමතුමක් ලබාදී සැකකරු පොලිසිය වෙත කැඳවා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම දැරීය පිළිබඳව ආදර සිතක් පහළ වූ නිසා මෙලෙස කළ බව පවසා ඇත. සැකකරු ඊයේ (28දා) දින උදෑසන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.

-ඒ.ඩී.යූ.කුමාර-