පන්නල ,ඊරියගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට දී පාපැදියක ගැටගසා තිබූ මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් 11 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති බව පන්නල පොලීසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ හයවන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන අතර ඔහු එම තුවක්කුව බැඳ තිබූ පාපැදිය පැදීමට යාමත් සමග එය පෙරළීයාමෙන් තුවක්කුව ක්‍රියාත්මකවී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණවල දී අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.  සිද්ධිය
සම්බන්ධයෙන් ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (21) පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

තුවක්කුව රැගෙන පාපැදියෙන් ගමන්ගත් අත්අඩංගුවට ගත් සැකකරු තුවාල ලැබූ සිසුවාගේ පියාගේ මිතුරකු වන බවත් ඔහු පාපැදිය මිතුරාගේ නිවසෙහි ඉදිරිපිට නවතා තබා සිසුවාගේ පියාත් සමග යතුරුපැදියේ නැගී එම නිවසෙන් බැහැරව ගිය අවස්ථාවේ දී මෙසේ අනතුර සිදුව ඇති බවත් සඳහන් වේ.

අත්අඩංගුවට ගෙන ඇති  සැකකරු මීට පෙර ද බලපත්‍රයක් නොමැති ගිනි අවියකින් වන සතුන් දඩයම් කිරීමට ගොස් හසුවී අධිකරණයෙන් චෝදනා ලැබූ අයෙකු බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සමග තුවක්කුව ඊයේ (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

-හේමලතා ඩී හේවගේ-