කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දේශන ශාලාවකට කඩා වැදුණු එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම දේශනයට සහභාගී වෙමින් සිටි දෙවැනි වසරේ සිසුවකුට පහරදී ඇතැයි ද ඔහු පහරකෑමෙන් වළකාලීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනකුට ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදී ඇතැයි ද වාර්තා වේ.

පහර කෑමෙන් තුවාල ලත් එක් සිසුවකු කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට අනියුක්ත වේරහැර පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා රත්මලානේ පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේදීම ප්‍රතිකාර ලබන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පරීක්‍ෂණ කටයුතු සිදුකරන හෙයින් වැඩිදුර තොරතුරු හෙළිවී නැතැයි ද සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපකුලපති ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකදි ඔහු පැවැසුවේ තම විද්‍යා පීඨයට පිටතින් පැමිණෙන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට පහරදී ඇති බවය.

පහරදුන් සිසුන් පිරිස කවුරුන් ද යන්න මේ වනවිටත් හඳුනාගෙන ඇති බවක් මෙම  සිද්ධිය පිළිබඳව විනය මණ්ඩලය විසින් කඩිනමින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

පහරකෑමට ලක්වූ බව කියන සිසුවකුගේ දෙමාපියන්ගෙන් කළ විමසීමකදි ඔවුන් පැවැසුවේ මේ පිළිබඳව මාධ්‍යයට වාර්තා  වුවහොත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නමට කැළලක් වන බව පවසමින් පහරකෑමට ලක්වූ සිසුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදිම පවා ප්‍රමාද කළ බවය.

-මනෝප්‍රිය ගුණසේකර-