අනුරාධපුර පොලිසිය අසාධාරණ ලෙස තමන්ට හා තම පවුලේ අයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බව පවසමින් ඊට එරෙහිව  ශ්‍රාවස්තිපුර, මොරගොඩ, සිත්තිකුලමේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ
සමග ඊයේ (21) පෙරවරුවේ අනුරාධපුර මූලස්ථාන  පොලිසිය ඉදිරිපිට ගසක් මත නැගී උපවාසයක් ආරම්භ කළේය.

 තම ගොවිපොළේ ඇතිකළ පාත්තයින් සිවුදෙනකු යාබද නිවසක කාන්තාවක විසින් ඇතිකරන සුනඛයෙකු විසින් 2017  වසරේ මාර්තු තුන් වැනිදෑ සපා කා

මරා දැමීම ගැන තම බිරිඳ එදිනම අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ල නිසි අයුරින් විභාග නොකොට එම තැනැත්තියට තර්ජනය කළේ යැයි චෝදනා නගා අනුරාධපුර පොලිසිය තමන්ටත්, තම බිරිඳටත්, පාසල් යන තම වැඩිමහල් දියණියටත්, පුතාටත්, පවුලේ ඥාතීන් සිවුදෙනෙකුටත් එරහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව පවසමින් ගස මත නැග ආහාරපානවලින් වැළැකී සිය බිරීඳ වන 45 හැවිරිදි සුධර්මා කාන්තිලතා සමග මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ 48 හැවිරිදි ඩබ්ලිව්.ඒ. විජේරත්න නමැති සිවුදරු පියෙකි.

ඔහු අනුරාධපුර පොලීසියට එරෙහිව නගන චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ මෙම යුවළට එරහි පොලීසියට ලැබුණු පැමිණිලි මත විමර්ශන සිදුකොට ඉන් අනතුරුව නඩු පැවරීම් සිදුකර තිබෙන බවයි.

 ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇත්නම් ගස් මත නැග උපවාස කරන්නට පෙර තමා හෝ උසස් පොලිස් නිලධාරීන් හමු වී ඒ ගැන සාකච්ඡා කර විසඳුමකට එළැඹීමට හැකියාවී තිබූ බව කී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, මොහු මීට පෙරද පවුලේ අය හවුල්කරගෙන තැන තැන පොලිසියට එරහිව උපවාස හා සත්‍යග්‍රහ ආදිය පැවැත්වූ බවත් ඔහු කලක් පොලීසියේද සේවය කළ අයෙකු බැවිත් දැන ගැනීමට ලැබුණු බවද පැවැසීය.

-අතුල බණ්ඩාර, අනුරාධපුර ඩී.පී. චතුරංග සහ අනුරාධපුර දයාරත්න ඇබෝගම-