https://www.gossiplankanews.com/2019/02/madush-wife-request.html#more
ඩුබායිහි අත්අඩංගුවට පත්වූ පාතාල නායක මදුෂ්ගේ මාකඳුරේ නිවස සහ ඔහුගේ ගෝල බාලයින්ගේ නිවාස හා දේපළ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් රැසක් ගතවූ පැය 48 ක කාලය තුළ සිදුව තිබේ. විශේෂයෙන්ම මාතර තංගල්ල ගන්දර කඹුරුපිටිය හා වැලිගම අවට මූලික කරගෙන සිදුවූ එම මෙහෙයුම් වලදී නිවෙස්වල සඟවා තිබූ ගිනි අවි රැසක්ද සොයාගෙන තිබේ.
කඹුරුපිටිය පොලීසියේ කණ්ඩායමක් මාකඳුරේ මධුෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබූ අතර
මධුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා

පද්ධතියක් සචි කර තිබු බව ද පොලිසිය පවසයි. පොලිසියට මධුෂ්ගේ පළමු බිරිය එහිදී හමුවී ඇත. ඇය තම සැමියා හැරයාම ගැන මෙන්ම සැමියා දරුවා රැගෙන යාම සම්බන්ධයෙන් සිය දුක්ගැනවිල්ල කෑගසමින් ප්‍රකාශ කර තිබේ.තම දරුවාද මධුෂ් විසින් ඩුබායිවලට රැගෙන ගොස් ඇති බැවින් එම දරුවා ගෙනැවිත් දෙන්නැයි ඇය එහිදී පොලීසියෙන් ඉල්ලීමක් ද කර ඇත.

කෙසේ වෙතත් නිවසේ තිබී සැකකටයුතු කිසිවක් හමුවී නොමැත.
මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට පත් ටෙලි නාට්‍ය නළු රයන් වැන්රොයන්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථය වැලිගම මිරිස්සේ හෝටලයක නවතා තිබියදී පොලීසිය විසින් ඊයේ සොයාගනු ලැබීය. ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවටපත් මිරිස්සේ ‘ සන්ශයින් සුදා’ නැමැති ව්‍යාපාරිකයාට අයත් හෝටලය
සෝදිසියට ලක් කළ අවස්ථාවේදී පොලීසිය එහි නවතා තිබූ මෙම වාහනය සොයා ගෙන ඇත. රයන් වැන්රොයන් ටෙලි නළුවෙකු වන්නට ප්‍රථම මධුෂ් හා ගෝලයින්  සමග දීර්ඝ කාලීනව සබඳතා පවත්වා ඇති අයකු බවද ඔහුගේ ජනප්‍රියභාවය මෙම මත්කුඩු ජාවාරම් සඳහා පලිහක් ලෙස භාවිත කර ඇතිද යන්න ගැන සැක බවද පොලිසිය සැක කරයි.

අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා නමැත්තෙකුද ඩුබායිහිදී හසුවූ අතර ඔහුගේ නිවස ගන්දර පොලිසිය මගින් පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල නවයක්, කැමා ඇඳුම් තුනක්, යුද හමුදා හිස් වැසුම් දෙකක්, ඉණ පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතුරම් 11 ක්,

හිස් පතුරම් කොපු 37 ක්, කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  උපකරණ ළඟ තබා ගැනීමේ වරදට ජංගා නමැත්තාගේ බාප්පා සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

මාකඳුරේ මධුෂ් ට හා ඔහුගේ මිතුරන් පස් දෙනාට අයත් මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස මෙන්ම ඔවුන්ගේ නෑදෑයින්ගේ නිවාසද ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට පත් මිරිස්සේ සන්ශයින් සුදා නමැති ව්‍යාපාරිකයාට අයත් හෝටලය ද පොලීසිය විසින් ඊයේ (8) පරික්ක්ෂා කරනු ලැබ ඇත.

මීට පෙරදිනයේ අමල් පෙරේරාට අයත් මහරගම නිවස හා රයන් වැන්රොයන්ට අයත් දෙහිවල නිවසද පරීක්ෂා කිරීමේදී ඔවුන් මත්කුඩු භාවිත කළ බවට හා ඒවා කිරා ඇති බවට සැකකරන උපකරණ අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහිදී අත්අඩංගුවට පත් රයන් වැන් රොයන්ගේ සොයුරා ප්‍රශ්න කිරීමෙන් පසු මේ වනවිට නිදහස් කර තිබේ.පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවේ.