මරදාන ගුවන් පාලම අසලදී අනතුරකට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථයක පිටුපස ආසනයේ කේරළ ගංජා කිලෝ 70ක් පමණ ප්‍රමාණයක් සඟවා තිබියදී ඊයේ (14දා) අලුයම මරදාන පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. ඊයේ (14දා) අලුයම 3.25ට පමණ පංචිකාවත්ත දෙසින් පැමිණි මෙම මෝටර් රථය මරදාන දුම්රිය
පොළේ පසුපස ගේට්ටුව පසු කරනවාත් සමඟම ඩාලි පාර දෙසට සහ බොරැල්ල දෙසට වාහන ගමන් කිරීමට යොදා ඇති කුඩා බාධකයේ ගැටී අනතුරට ලක්ව ඇතැයි මරදාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෝටර් රථයේ පසුපස වම් පැත්තේ රෝදය පුපුරා ගොස් ඇතැයිද එම නිසා මේ අනතුර සිදුවන්නට
ඇතැයිද එකී පොලිස් නිලධාරියා පැවැසීය.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් ඒ බව දැක ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණෙන අතරවාරයේ එම රථයේ සිටි පිරිස් පැනගොස් ඇතැයිද හෙතෙම පැවැසීය. අනතුරට ලක් වූ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි පසුපස ආසනය ඉදිරියට නවා ඒ මත ගොඩ ගසා තිබූ කිලෝ හතර බැගින් වූ කේරළ ගංජා පාර්සල්17ක් සොයා ගැනීමට හැකිවී තිබේ. මේ වාහනය කුලී පදනම මත වාහන ලබාදෙන එක්තරා ආයතනයකින් ලබාගත් එක්ක බව විමර්ශනවලදී හෙළි වී ඇති බවද හෙතෙම පැවැසීය.

මේ වනවිට කේරළ ගංජා කිලෝ එකක වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වන නිසා සොයාගත් මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වනු ඇති බවද හෙතෙම පැවැසීය. අනතුරට පත් මෝටර් රථය කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ රථයක් බවත් මේ වනවිට එම කාන්තාව ඩුබායි ගොස් ඇති නිසා එය වෙනත් අයකුගේ නමට පවරා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එකී තැනැත්තා මාස 4කට පෙර මේ මෝටර් රථය කුලී පදනම මත වාහන ලබාදෙන බම්බලපිටියේ ආයතනයකට ලබාදී ඇති බවත් එතැනින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ආයතනයක් කුලී පදනම මත මේ වාහනය ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. පලා ගිය පිරිස මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ පෙබරවාරි 11 වැනිදා බවත් හෙළිවී ඇත. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට මරදාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය. මරදාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිරි ඇතුළුව මරදාන දූෂණ මර්දන ඒකකයේ සහ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.


-කොළඹ එම්.සී. පෙරේරා-