ඩුබායිහිදී කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ලබන 28 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට බර් ඩුබායි පොලිසියේ පිහිටි නීති කාර්යාලය (Public Prosecutor) පියවර ගෙන තිබේ.

එම පොලිස් සංකීර්ණය තුළ පිහිටි බන්ධනාගාරයේ රඳවා සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා මුණ ගැසීමටතමාට ඊයේ (14දා) හැකියාවක් ලැබුණු බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට එරටට ගිය නීතිඥ ශබ්දික වෙල්ලප්පිලි මහතා පැවැසීය.

බන්ධනාගාර ප්‍රධානියා මුණ ගැසී
විනාඩි 15ක පමණ කාලයක් අමල් සහ නදීමාල් සමඟ කතාබහ කිරීමට මෙලෙසතමාට අවස්ථාවක් හිමි වූ බවද හෙතෙම පැවැසීය.

එසේම තමන්  නීති කාර්යාලයේ නිලධාරියකු මුණ ගැසුණු බවත්, එහිදී අමල් පෙරේරාට සහ නදීමාල් පෙරේරාට ඇත්තේ අඩු චෝදනා බවත් දැන ගන්නට හැකි වූ බවද ඔහු කීය.

අමල් සහ නදීමාල් පෙරේරාගේ රුධිර, මුත්‍රා සහ හිසකෙස් සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ඇසුරින් ලැබීමට ඇත්තේ තවත් එක් වාර්තාවක් පමණක් බව බර් ඩුබායි පොලිසියේ එම නිලධාරියා තමන්ට දැනුම් දුන් බවද සඳහන් කළ නීතිඥ වෙල්ලප්පිලි මහතා එම වාර්තාව නිකුත්වීමෙන් පසුව ඔවුන් මෙරටට පිටුවහල් කිරීම කෙරෙහි එරටේ නීති අංශවල අවධානය යොමු වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවද ප්‍රකාශ කළේය.

සිය සේවාදායකයන් දෙදෙනා සම්බන්ධයෙන් තමාට පෙනී සිටීමට හැකි බවත්, එම නිසා සතියක් ඇතුළත ඇප ඉල්ලුම් පත්‍රයක් එම නීති කාර්යාලයට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

චාමර අමරසූරිය