https://www.gossiplankanews.com/2019/02/2year-cricket-ban-sanath-jayasuriya.html#more
ලෝකයේ  ක්‍රිකට් වංචා සම්බන්ධයෙන් දූෂිතම රට හැටියට ශ්‍රී ලංකාවේ නම පසුගියදා වාර්තාවී තිබෙන පසුබිමක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) විමර්ශනයකින් පසු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්බන්ධ සියලු කටයුතු වලින් ඉවත්වන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව
පුහුණුකිරීම්, නිවේදන කටයුතු,  ක්‍රීඩකයෙකු ලෙස වෙළෙඳ ගිවිසුම්, සංගම් වල තනතුරු ආදී කිසිවක් ඔහුට ඉදිරි වසර 2 තුළ තහනම්ය.

ICC දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායම මෙම තීරණයට එළැඹියේ මීට මාස කිහිපයකට පෙර අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහන මගින් හෙළිවූ කරුණු ගැන විමර්ශන වලින් පසුවයි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්,

ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවටත් එම වාර්තාවල සඳහන් වන අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හිටපු තේරීම් කමිටු ප්‍රධානී

සනත් ජයසූරිය ඔවුන් ආරක්ෂා කරමින්  ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ පුද්ගලයා ලෙසද එහිදී නම් කර තිබේ.
මෙම කාරණාව ගැන එවක ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවූ සනත්ගෙන් කරුණු විමසීමේදී ඔහු මගහරින ප්‍රතිපත්තියක සිටීමෙන් වරද සිදු කළා යන අදහස තේරුම් යාම මෙම තහනම පැනවීමට හේතුවයි.

අයිසීසී දූෂණ විමර්ශන කමිටුව ACU මගින් සනත් ජයසූරිය චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු කර තිබේ.

ජයසූරිය අයිසීසී නීති සංග්‍රහය උල්ලංඝනය කරන ලද වගන්ති දෙක වන්නේ,


2.4.6 වගන්තිය - පරීක්ෂණයක් සඳහා ACU විසින් ඉල්ලා සිටින නිවැරදි හා සම්පූර්ණ තොරතුරු සහ / හෝ ලියකියවිලි සැපයීමට අසමත්වීම, ACU විසින් සිදු කරනු ලබන විමර්ශනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සාධාරණීකරණය කිරීමකින් තොරව හෝ ප්‍රතික්ෂේප කිරීම.

2.4.7 වගන්තිය පරීක්ෂණයකට අදාළ විය හැකි වෙනත් ලියකියවිලි හෝ වෙනත් තොරතුරු හෝ වෙනත් තොරතුරු හෝ සඟවා තැබීම හෝ අනවසරයෙන් ඇතුලුවීම හෝ ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම හෝ ACU විසින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හා ප්‍රමාද කිරීම.

මෙම වැරදි ගැන ඔහුව දැනුවත් කර  2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක් තුළ ඔහු නිවැරදිකරුනම් ඒ ගැන පැහැදිලි කිරීමට අවස්ථාවක්ද ලබාදුන් නමුත් ඔහු එම කාලයේදී එය නිවැරදි කරගන්නට අපොහොසත් විය.
ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනි දා සිට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ.

එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි.

මේ අතර මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය තම රසිකයින්ට හේතු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය නියම කළ දිනට තම දුරකතන සිම්පත සහ දුරකතනය ලබා නොදීමේ වරදට මෙම දඬුවම නියම කර ඇති බවයි.දුෂණ චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වී නොමැති බවත් ඒ අනුව තමා දූෂකයෙකු නොවන බවත්, අදාළ දිනට එම උපකරණ ලබාදීමට අපොහොසත්වීමේ වරදට මෙම දඬුවම පනවා ඇති බවත් ජයසූරිය පවසයි.