සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සන්දේශ භාරදීම පිළිබඳව බලවත් සැලකිල්ල යොමුව ඇතැයි පවසන එක්සත් ජාතික පක්ෂය එම විරෝධතා සඳහා පක්ෂයේ
කිසිදු සම්බන්ධතාවක් නැතැයි ප්‍රකාශ කරයි. එ.ජා.ප.ය එසේ ප්‍රකාශ කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.

මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්.ජී.ඕ. නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙනයන ප්‍රචාරයන් සම්බන්ධව අපගේ අවධානය යොමු වී ඇත. අප සොයා බලා දැක හඳුනාගත් ආකාරයට මේ විරෝධතාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර් 26 වැනිදා සිට සටන්වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ
සංවිධානත්වයෙන් සිදු වූවකි.

එක්සත් ජාතික පක්ෂය සැම විටම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්ෂා කරන පක්ෂයකි. මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත් මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් අප පක්ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නොවේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින්ම අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්ද පෙනී සිටිමු. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින්, පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මඟින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන විසින් නීතිරීතිවලට යටත්ව සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය පාන කොටස් එන්.ජී.ඕ.කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින් නීති බිඳිමින් ප්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදු කරන කොටස් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පැලඳීමයි. මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන්ගේ සන්දේශ භාර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත අප පක්ෂයේ ප්‍රසාදය හිමි වන අතර එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍යයන් වෙත අපගේ විරෝධය හා පිළිකුල මෙයින් පළ කර සිටිමු.