කොළඹ මහ නගර සභාවේ අය වැය විවාදය පැවති දිනයේදී මන්ත්‍රීවරුන්ගේ සංග්‍රහ වියදම ලෙස රුපියල් මිලියනයක් වැයවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පෙරේදා (31) විරෝධය  දැක්වූහ.


නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් මෙම සංග්‍රහ වියදම සභාවේ අනුමැතිය සඳහා පෙරේදා පැවති මහා සභාවට ඉදිරිපත් කරනු ලැබිණ.

කොළඹ මහ නගර සභාවේ 2018 අය වැය ලේඛනය නගරාධිපතිනිය පසුගිය 18 වැනිදා සභාවට ඉදිරිපත් කළාය. ඒ පිළිබඳ විවාදය දින දෙකකට සැලසුම් කර තිබුණත් සභාවේ එකඟතාවය මත 18 වැනිදා මධ්‍යම රාත්‍රිය එනතෙක් විවාදය පවත්වාගෙන ගොස් එදිනම ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.

සංග්‍රහ වියදම පිළිබඳ ලේඛනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා මේතරම් විශාල මුදලක් දිනක සංග්‍රහ වියදම ලෙස ජනතා බදු මුදලින් වැය කිරීම අනුමත කළේ නොහැකි බවත් එය තමන් ඇතුළු කණ්ඩායම පක්ෂයක් ලෙස විරෝධය දක්වන බවත් පැවසීය. අනතුරුව පැවති ඡන්ද විමසීමකදී ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනා පමණක් එම සංග්‍රහ වියදම් ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.