එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා තිබෙන නිසා ඉදිරි මාස 3 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත්
වීමට බොහෝදුරට හැකියාවක් පවතින බව
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කිසිදු ආශීර්වාදයක් නොමැතිව වත්මන් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බව පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආරම්භ කර තිබෙන කැරැල්ල හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තුළ පවත්නා අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ ආශීර්වාදය වර්තමාන ආණ්ඩුවට නොමැති නිසා කිසිදු ආයෝජකයකු මෙරට ආයෝජන සිදුකිරීමට නොපැමිණෙන බවද නානායක්කාර මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුවට මුදල් නොමැතිවීමෙන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් මෙම සියලුම අර්බුදවලට හොඳම විසඳුම කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම බව කියමින් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ටද අවබෝධ වෙමින් පවතින බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.