දෙඅත් බැඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද තරුණයකුගේ මළ සිරුරක් පිළියන්දල හැඩිගම අලුත් පාර ප්‍රදේශයේ තිබී 11දා රාත්‍රි හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුස්තකාල සහායක ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසරකට පමණ
ඉහතදී වැඩ තහනමට ලක්වූ බව කියන රත්මලාන ජයසුමනාරාම පාර පදිංචිව සිටි සුමුදු සෙනෙවිරත්න (22) නමැති තරුණයෙකි. ඝාතනයට ලක්වූ තරුණයා පැදවූ යතුරුපැදිය කටුබැද්ද ආසන්න පිළියන්දල මාර්ගයේ තිබී හමුවූ බව පොලිසිය කියයි.

මියගිය තරුණයා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වූ රත්මලානේ කුඩු අංජු නමැත්තා සමඟ සබඳතා පවත්වමින් එම ජාවාරමට සහාය දැක්වූවකු බව පොලිසිය කියයි. දරුණු කැපුම් තුවාල සහිතව පුද්ගලයකු වැටී සිටින බවට ඉකුත් සිකුරාදා (11දා) රාත්‍රි 11ට පමණ හැඩිගම අලුත්පාර ප්‍රදේශයේ ප්‍රදේශවාසියකු පොලිසියට දුන් තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පිළියන්දල පොලිසියේ නිලධාරීන් කළ මූලික පරීක්ෂණවලදී ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳ තොරතුරු ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ බැංකු ගිණුම් පොතකින් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

එම බැංකු පොත සමඟ ජංගම දුරකථන දෙකක් ද කලිසම් සාක්කුවේ තිබී ඇත. පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර පරීකෂා කිරීමේදී දුඹුරු පාටට හුරු සපත්තු ලේස් එකක් උපයෝගි කරගෙන බැඳ දමා තිබූ දෑත්වලින් එම ලේස්පටිය දකුණු අතින් ගැලවී තිබූ බවත් පොලිසිය කියයි. බැංකු පොතෙහි සඳහන් ලිපිනය ඔස්සේ ඝාතනයට ලක්වූ තරුණයාගේ මවුපියන්ට දැනුම් දීමෙන් පසු පියා පැමිණ සිය පුතා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.

සිය පුතු නරක මිතුරන් නිවසට රැගෙන ඒම සම්බන්ධයෙන් ‍දොස් පැවරීම හේතුවෙන් දැනට මාස හයක් පමණ ඔහු සමඟ අමනාපව නිවසින් පිටවී ගොස් පානදුර ප්‍රදේශයේ ඥාති නිවසක නවාතැන් ගත් බවත් එම කාලය තුළ එකම දිනක හෝ නිවසට නොපැමිණි බවත් මව සමඟ පමණක් දුරකථනයෙන් කතා කරන බව පැවසූ බව පොලිසිය කියයි. පසුගිය 11දා සිකුරාදා සවස පානදුර ඥාති සහෝදරයකුට අයත් යතුරුපැදියක් ඉල්ලාගෙන එම නිවසින් පිටවූ බව දැන ගන්නට ලැබුණ බවත් තරුණයාගේ පියා පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන් වේ.

යතුරුපැදියෙන් තරුණයා ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන වාහනයකට දමාගෙන දෙඅත් බැඳ කිසියම් ස්ථානයකදී ඝාතනය කර හැඩිගම අලුත් පාර ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බව පොලිසිය සැක කරයි.  සිද්ධිය වූ ස්ථානයට අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය පැමිණීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර පරීක්ෂා කිරීමේදී ගෙල පෙදෙසෙහි දරුණු කැපුම් තුවාල දෙකක්, පපු ප්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ලැබීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මේ ඝාතනය යම් කල්ලි දෙකක් අතර පවතින ව්‍යාපාරික ගැටලුවක් මුල්කරගෙන සිදුකළ එකක් ද නොඑසේ නම් වෙනයම් සිද්ධියක් හේතු වූවාද යන්න පිළිබඳ පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

කොළඹ- එම්.සී. පෙරේරා