අලුත් ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති පසුබිම යටතේ අමූලික බොරු පතුරවමින් රට ගිනි තබන්නට එපා යැයි ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (13) පැවැසීය.

නායක හිමිවරුන් හමුවේ බොරු කියන පිරිස මුසාවාදා සිල්පදය කඩා අකුසල කර්මයක් කර ගැනීම ගැන කනගාටුවට පත්වන බව ද අග්‍රාම්‍යතාරයා කීය. කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික
තෛපොංගල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහාභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.  රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය.

''රටේ ජන කොටස් එකතුවන අවස්ථාවේදී විශාල ජාතිවාදි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. අලුත් ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදනවා යැයි ඔවුන් කියනවා

අප අලුත් ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා
කෙටුමිපතක්වත් ඉදිරිපත් කර නැහැ. සමහර අය නායක ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න පන්සල්වලට බඩ ගානවා. මං ඒ අය ගැන කනගාටු වෙනවා. පංචශීලය ආරක්ෂා කරනවා නම් මුසාවාදයෙන් වැළකිය යුතුයි.

ඔවුන්  අසත්‍ය බොරු චෝදනා කරනවා නම් ඒ පවෙන් ඒ අයගේ මේ ජීවිතයේදි සහ මතු භවයේ කුමක් වේදැයි මට කියන්නට බැහැ. පන්සිල් පිළිපදින්නැයි ඒ අයගෙන් මා ඉල්ලා සිටිනවා. මට අපගේ මෙහෙයුම් කමිටුවේ සෑම පක්ෂයකම නියෝජිතයන් ඉන්නවා. අපේ වාර්තා සියල්ල ව්‍යවස්ථාදායක සභාවට සහ පාරිලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට යුතුකමක් තිබෙනවා. අපගේ අන්තිම වාර්තා සියල්ල ඊට ඉදිරිපත් කරනවා.

මට ව්‍යවස්ථා කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහාය තිබිය යුතුයි. අලුත් ව්‍යවස්ථා නිසා පොලිසිය කැඩෙනවා යැයි පුවත්පතක පලවී තිබූ පුවතක් දැක මා පුදුම වුණා. එය සමිපූර්ණ අසත්‍යයක්.  අප ඉදිරිපත් කර තිබෙන්නේ විශේෂඥයන්ගේ වාර්තාවත්, විශේෂඥයන්ගේ විකල්ප වාර්තාවත්,දේශපාලන ස්ථාවරය ගැන වාර්තාවත්, මහ ඇමැතිවරුන්ගේ වාර්තාවත්, පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්වල සාරාංශයත් පමණයි.

 මට සංධානයේ එක් මහ ඇමැතිවරයෙක් පොලිසියට වැඩිපුර බලතල දෙන්නැයි කියා තිබිනවා. ඊට එකඟ වෙනවාද නැද්ද යන කාරනය වෙන එකක්. මහින්ද රාජපකෂ මහතාගේ සර්ව පාක්ෂික
යෝජනාව අනුව පොලිසියේ දිය යුතු කොටස්  දෙනවාද? මේ සියල්ල පාර්ලිමේන්තුවේදී කතා කළ හැකියි.
ජාතිබේද ඇති කර රට ගිනි තබන්න එපා යැයි ඉල්ලා සිටිනවා. මේ ඔවුන්ගේ බංකොලොත් බවයි. හිඟන්නාගේ තුවාලය සේ මේ ප්‍රශ්නය අල්ලාගෙන ජීවත් වෙන්න හදනවා. ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇතැයි කියනවා නම් පාර්ලිමේන්තුවේ ඇති ඒ කොටස පෙන්වන්නැයි''
 අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

(අංජුල මහික වීරරත්න)