ඊයේ (29දා) දහවල් එකොළහට පමණ මාතර - පඹුරණ, පොල්හේන ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අංගණයක් ගිනි ගෙන මුළුමනින්ම විනාශ විය. මෙම ගින්න නිසා මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ  පැය
දෙකක පමණ කාලයක් විශාල වාහන තදබදයක් විය. ගිනෙන්නේ සම්පුර්ණයෙන්ම විනාශ වූ සිවුමහල් මෙම ගොඩනැගිල්ල වටා මෝටර් රථ අලෙවි අංගන කිහිපයක්ම තිබීම නිසා එම ප්‍රදේශය මහත් කලබලකාරී විය.

ගින්න අසල ඇති මෝටර් රථ අංගවලටද පැතිරීම වළක්වා ගැනීමට මාතර නගර සභාවේ

ගිනි නිවන ඒකකය මහත් පරිශ්‍රමයක් දැරූ අතර මෝටර් රථ අංගනවලින් වාහන ඉවත් කිරීමට යැමේදී විශාල කලබලයක් ඇති විය. ඊට හේතුව අලෙවි කිරීමට ඇති අලුත්ම වාහනවල යතුරු සොයාගැනීමට නොහැකි වීම සහ එම වාහනවල බැටරි සවි නොකිරීම හේතුකොටගෙන කඩිනමින් ඉවත් කර ගැනීමට  නොහැකි විය.

ගින්න නිවා ගැනීමට තරම් ජලය නොමැති වීම ගින්න විශාල ලෙස පැතිර යෑමට හේත්තු විය. ගිනි ගෙන විනාශ වන ගොඩනැගිල්ලේ බිත්ති කොටස් ගැලවී විසිවී මෙම ගින්න නැරැඹීමේ යෙදී සිටි ජනතාව දෙසට වැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගියේය. මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතා එම ස්ථානයට පැමිණ ජනතාව ඉන් ඉවත් කිරීමට උත්සාහ කළද අනතුර අසලටම ඔවුන් ගොස් විඩියෝ ගත කිරීම් නිසා පොලිසියද අසීරුතාවට පත්විය.

මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවුවක් යැයි අනුමාන කළද මෙතෙක් ගින්නට හේතුව අනාවරණය කරගෙන නැත. ගිනි ගැනීම හේතුවෙන් වාහන අමතර කොටස් සියල්ලම විනාශ වී ඇත. මාතර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

-උදය කුමාර රණවීර-


pics - Yasindu Ishan Udithamal