නාඳුනන පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පාදුක්ක වටරැක නිවසකදී රූපවාහිනිය නරඹමින් සිටි අයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින තුනකට පසු පෙරේදා
(28දා) මියගිය බව මීගොඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ පාදුක්ක - වටරැක පානලුව පදිංචිව සිටි මාඹුලගේ කුලතුංග නමැති 70 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා අංශභාග රෝගයෙන් පෙළෙන්නකු බවද පොලිසිය කියයි. ඉකුත් 25 වැනිදා මියගිය අය නිවෙසේ සාලයේ පුටුවක හිඳ
රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක් වී ඇත. ඔහුගේ මුහුණ පපු ප්‍රදේශය, පාද ඇතුළුව ශරීරයේ ස්ථාන කිහිපයකම බරපතළ පිලිස්සුම් තුවාල වී ඇත.  සිද්ධිය වන අවස්ථාවේ නිවෙසේ ඉදිරිපස කාමරයක මෙම පුද්ගලයාගේ බෑනා කෙනකු සිට ඇත.

බිරිය නිවස පිටුපස සිට ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත. ඇසිඩ් රැගෙන පැමිණි ප්ලාස්ටික් බෝතලයක්, මුඩියක් නිවෙස පිටුපස වැටී තිබියදී එදිනම සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. රෝගි වී සිටින මෙම පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව සිතා ගත නොහැකි යැයි පොලිස්  නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

කිසියම් දේපළ ආරවුලක් හෝ  පිටස්තර පුද්ගලයකු සමඟ කිසියම් අමනාපයක් නිසා මෙය වුවේදැයි අනාවරණය වී නැත.  මේ වනවිට නිවැසියන් ඇතුළු යාබද නිවෙස්වල පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ ගෙන ඇති බව පොලිසිය කියයි.

-එම්.සී.පෙරේරා-