වාහන ලියාපදිංචි කිරීම, පැවරීම ඇතුළු රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් සිදුවන බවත් එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට
හැකිවනු ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

මේ අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ සිට පැවරීම් ඇතුළු සියලු කටයුතු ඊ-මෝටරින් යටතේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් හරහා සිදු කෙරෙන බවත්,ජනතාවට තම වාහනවලට අදාළ
කටයුතු කාලය, ශ්‍රමය හා මුදල් වැය නොකර සිය නිවෙසේ හෝ කාර්යාලයේ සිට සිදුකරගත හැකි බවත් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

කෙසේ වුවද ආනයනය කරන සියලුම රථවාහනවලට වීඅයිසී ලේබලයක් නිකුත් කරන බවත් කිව්.ආර්. කේත මඟින් අදාළ වාහනයේ සියලුම තොරතුරු හා දත්ත ඊට ඇතුළත්කර ඇති බැවින් එකී වීඅයිසී ලේබලය නොමැතිව කිසිදු වාහනයක් ලියාපදිංචි කළ නොහැකි බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි. මේ නිසා වාහන ලියාපදිංචි කිරීමේදී පැවැරීමේදී හෝ වෙනත් කටයුතුවලදී අතරමැදියන් මඟින් සිදුවන අක්‍රමිකතා සම්පූර්ණයෙන් වැළැකෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට ලියාපදිංචි වාහන මිලියන 7.8ක් පමණ ඇතත් එයින් භාවිතයට ගැනෙනුයේ මිලියන 4ක පමණ ප්‍රමාණයක් බැවින් වසර හතරකට වඩා කාලයක් ලියාපදිංචි කර නොමැති වාහන භාවිතයෙන් ඉවත් කළ සේ සලකා ඒවා ලියාපදිංචි ලේඛනවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම ඊයේ (09දා) සවස එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

දිවයින පුරා ඇති සියලුම රියැදුරු පාසල් ලබන 16දා සිට මාර්තු 31 දා දක්වා පොලිසියේ සහාය ඇතිව පුළුල් පරීක්ෂාවකට ලක්කර ලියාපදිංචි නොකළ නිසි ප්‍රමිතියක් හා සම්පත් නොමැති අඩුපාඩු සහිත රියැදුරු පාසල්වලට එරෙහිව නීති මඟින් ක්‍රියාකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (තොරතුරු තාක්ෂණ) තුෂාර සුරවීර මහතාද මෙහිදී අදහස් දැක්විය.

උපතිස්ස පෙරේරා