නිවෙසට ගෙනා චිකන් කොත්තුව අල්ලපු ගෙදර බල්ලා හොරෙන් කෑ නිසා අල්ලපු ගෙදර මිතුරා සමඟ රණ්ඩු  සරුවල් වී ගුටි ඇනගෙන පොලිසි ගිය කතාවක් තලාතුඔය ප්‍රදේශයේ ගමකින් වාර්තා වේ. එක ළඟ පිහිටි නිවාස දෙකක ජීවත් වන මේ පුද්ගලයන් දෙදෙනා සහ පවුලේ සාමාජිකයන් අනෙකාටද උදවු කරමින්
බොහෝ මිතුරු වී කාලයක් තිස්සේ ජීවත් වූ අයයි. එලෙසම ඔවුන්ගේ නිවාස දෙකේම සුරතලයට ඇති කරන බල්ලන් දෙදෙනකුද සිටින අතර ඔවුන් දෙදෙනාද හාම්පුතුන් මෙන් ඉතාමත් මිතුරන් විය.

වැඩ ඇරී සවස නිවෙසට එනවිට එදින රාත්‍රි කෑමට අසල කඩයකින් චිකන් කොත්තු ගෙනත්
කුස්සියේ තබා ඇත. ඇඟපත සෝදා බිරියත් දරුවනුත් සමඟ සාලයට වී රූපවාහිනිය බලා රාත්‍රි කෑමට සූදානම්ව කුස්සියට ගිය විට කොත්තු පාර්සලය නොමැති බව දැක ඇත. ඒ පිළිබඳ විපරම් කිරීමේදී කුස්සියේ ‍දොර අමතක වී විවෘත කොට තිබුණු නිසා අල්ලපු ගෙදර බල්ලා පැමිණ එය එළියට රැගෙන ගොස් කමින් සිටිනු දැක ඇත.

එය දුටු ගෙහිමියා පොල්ලක් ගෙන බල්ලාට පහරදී ඇති අතර එම සද්දය ඇසුණු අල්ලපු ගෙදර මිතුරා පැමිණ බල්ලාට ගහන්නේ කුමටදැයි අසා රණ්ඩු වීමට පටන් ගෙන ඇත. රණ්ඩුව දුරදිග ගොස් ගුටි බැට හුවමාරුවක්ද සිදු වී ඇති අතර එම සද්දයට අසල්වැසියන් පැමිණ රණ්ඩුව බේරා ඇත.

දෙදෙනාම තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසි ගොස් පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානාධිපති විසින් පරීක්ෂණ සිදුකරනු ලැබේ. එකට සිටි මිතුරන් දෙදෙනා චිකන් කොත්තුවට විරසක වී සිටියදී මිතුරු බල්ලන් දෙදෙනා චිකන් කොත්තුව නිසා ඊටත් වඩා මිතුරන් වී සෙල්ලම් කරමින් මිදුලේ සිටිනු එම පෙදෙසින් යන කාටත් දැකගත හැකිය.


-චමින්ද කුමාර-