ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් හා උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නාමල් කුමාර නමැත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුධ හමුදාවට බැදී පුහුණුව ලබා
පැනගොස් සිටින අයෙකු බවත් ඔහු එම සේවයට බැඳීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ සහතිකපත් බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් අද (02) අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පවසා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ නාමල් කුමාර යුද හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික අනුව 2002 වසරේ පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේදී අධි සම්මාන 2ක් සහ සම්මාන 3ක් සහිතව විෂයන් 10ම සමත් වූ බවට සඳහන්ව ඇති බවයි. නමුත් ඒවා සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වී ඇත්තේ විෂයන් 3ක් පමණක් බවයි.

එලෙස ව්‍යාජ අධ්‍යාපන සහතික ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හා යුදහමුදාවෙන් පැන යාම සම්බන්ධයෙන් නාමල් කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.