https://www.gossiplankanews.com/2019/01/al-best-results-holders-2018.html#more
සුගියදා නිකුත්වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන් මුල් ස්ථාන දිනූවන් ගැන විවිධ ආරංචි මාධ්‍ය තුළ වාර්තා විය. ඒ අතර ඔවුනගේ පුද්ගලික විස්තරද මේ වනවිට ප්‍රකටවී තිබේ.
දිවයිනෙන්ම ජීව විද්‍යා ප්‍රථමයාවී වෛද්‍ය විද්‍යාලයට තේරුණු ගම්පහ රත්නාවලියේ සමුද්‍රා රාජපක්ෂ සිසුවියගේ මව පියා දෙදෙනාම වෛද්‍යවරුන්ය. පියා ගම්පහ දිසා රෝහලේද
මව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේද වෛද්‍යවරු ලෙස සේවයේ යෙදෙති. සමුද්‍රාගේ පවුලේ ඇයට බාල නැගණියක හා මළනුවෙකුද සිටී. ඇගේ නැගණිය ඇගේ පාසලේම 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මළනුවන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 8 වන ශ්‍රේනියේ ඉගෙනුම ලබයි. ඇය ප්‍රාථමික අධ්‍යාපනය

ලැබුවේ ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලයෙනි. ඇය රත්නාවලියට ඇතුළුවන්නේ ශිෂ්‍යත්වයෙන් 172 ක් ලබමිනි.

දිවයිනෙන්ම ගණිත අංශයේ පළමු තැන සිසුවියකට හිමිවීම පසුගිය වසරවල විභාග ප්‍රතිඵල අනුව සලකද්දී විරල සිදුවීමකි. එම සමත්කම මෙවර දක්වා ඉංජිනේරු පීඨයට තේරුනේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ චතුනි විජේගුණවර්ධනයි. චතුනිගේ දෙමාපියන් දෙදෙනාම ඉංජිනේරුවන් වීමද වි‍ශේෂත්වයකි.
පියා දැන් විශ්‍රාමික වන අතර මව බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරිය ලෙස සේවය කරන්නීය. චතුනි ඔවුනගේ එකම දරුවාය.

චතුනි දකුණු පළාතේ අම්බලන්ගොඩ කුඩා කාලය ගත කළාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රථමික අධයාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් 187 ක් ලබා ඇය කොළඹ විශාඛා බාලිකාවට ඇතුළත් වූවාය.

'2017 ඕල් රවුන්ඩර්' ලෙස විශාඛා විද්‍යාල වර්ණ ප්‍රදානයේදී සම්මාන ලද චතුනි පොතට පතට පමණක් සීමා නොවී බාහිර ක්‍රීඩාවලටද යොමූවූ සිසුවියකි. ඇය වූෂූ ක්‍රීඩාව හා පිහිනුම් ක්‍රීඩාවට දක්ෂතා දක්වන්නියකි. එසේම සංගීතයද වැඩිදුර හදාරන අතර ගිටාර් වාදනයට නිපුණතා දක්වන්නියකි.



දිවයිනෙන්ම වාණිජ්‍යය ප්‍රථමයාවී කළමනාකරණ පීඨයට තේරුණ කුරුණෑගල මලිදේව විද්‍යාලයේ කසුන් ඉඳුරංගගේ දෙමාපියන් ගොවිතැන් කරන අයයි.වාරියපොළ පාදෙණිය ඔවුන්ගේ ගමයි. ඔහුට වැඩිමල් සොයුරෙකු සිටින අතර එම සොයුරා රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටින්නෙකි.

කසුන් පාසල් තුනකින් අධ්‍යාපනය ලබා ඇත. මලියදේවයට පැමිණියේ උසස් පෙළ සඳහාය.ප්‍රාථමික අධයාපනය පාදෙණිය ශ්‍රී සුනන්ද විදයාලයෙනුත් ද්විතීයික අධ්‍යාපනය වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙනුත් ලබා ඇත.


දිවයිනෙන්ම කලා අංශ ප්‍රථමයාවූ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්සා අල්විස් පුද්ගලික පාසලකින් ලංකාවේ උසස්පෙළ දේශීය විෂයමාලාවේ ප්‍රථම ස්ථානයක් ලද පළමු තැනැත්තියයි. උතුරු කළුතර පන්සල පාරේ පදිංචි ඇයගේ පියා විදේශගතව රැකියාව කරන නිසා ජයග්‍රහණය සමරන අවස්ථාවට ඔහුට එන්නට බැරි විය.
ඔහු චීනයේ නැව් සමාගමක සේවය කරන්නෙකි. ගෘහණියක වන මව ඇයට මිතුරෙකු මෙන් සමීප බව පවසා තිබේ. එම පවුලේ එකම දරුවාද සෙනාදිය. ඇය සංගීතයට ළැදිය. පියානෝ වාදනයටද හැකියාව ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ලංකාවේ පළමු තැනට පත්වූ කොළඹ ආනන්ද විදයාලයේ පමුදිත පතිරත්න මීරිගම පදිංචි කරුවෙකි. ඔහුගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකි. මව ගෘහණියකි. ඔහුට බාල සොයුරෙකුද සිටී. ඔහු පාසල් 3 ක අධ්‍යාපනය ලද අයෙකු වන අතර ආනන්දයට ආවේ උසස්පෙළ සඳහාය.

හලුගම ධර්මපාල විදයාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශීෂ්‍යත්ව විභාගයෙන් 170 ක් ලබා ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව නාලන්දයේ නොමැති නිසා ආනන්දයට ඇතුළත්ව ඇත.

ජෛව පද්ධති තාක්ෂණ විෂය දාරාවෙන් දිවයිනෙන් ප්‍රථමයා වූ  මාවරල පදිංචි කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලේ සඳුනි පියුමාෂා කොඩිප්පිලිගේ පියා ඉඩම් හිමියෙකි. මව පවුල් සෞඛ්‍ය සේවිකාවකි. ඇයට වැඩිමහල් සොයුරියක් හා මළනුවෙකු සිටී. වැඩිමල් සොයුරිය වයඹ විහ්ව විද්‍යාලයේත් මළනුවන් මාතර ශාන්ත තෝමස් විදුහලේ 9 වන ශ්‍රේණියෙත් ඉගෙනුම ලබති.

ඇය 5 ශිෂ්‍යත්ව විභාගය ප්‍රමාණවත් ලෙස සමත් නොවූ අයෙකු වීම විශේෂත්වයකි. ඇයට එහිදී තිබී ඇත්තේ ලකුණු 129 කි. නමුත් නාරන්දෙණිය ජාතික පාසලට ඇයව බඳවා ගැනීමට විදුහල්පතිවරයා කාරුණික වීම ඇගේ ජීවිතය වෙනස් කළ බව ඇය පවසා තිබේ. පාසලේ කැපී පෙනෙන සිසුවියක වන ඇය නැටුම් හා ක්‍රීඩා සඳහාද සමත්කම් දක්වන්නියකි.