https://www.gossiplankanews.com/2019/01/75m-usd-sale-of-eap-group.html
කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රකටව පැවති ඊඒපී මාධ්‍ය ජාලයත් ඊඒපී චිත්‍රපට සමාගමත් ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයත් විදේශ හා දේශීය සමාගම් දෙකකට විකිණීමේ කටයුතු සිකුරාදා (4) අහවරවූ බව වාර්තාවේ. විකුණා ඇති වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75 කි. ඒ අනුව සෝමා එදිරිසිංහ මහත්මියගේ ඇවෑමෙන් ඇගේ දරුදැරියන් සතුවූ සියලු ඊඒපී වත්කම් වලින් ඊටීඅයි මූල්‍ය සමාගම හැර සියල්ල විකුණා
දමා ඇත.
කෙසේ වෙතත් මෙම විකිණීමේ කටයුත්ත ජනතාවගෙන් වසන් කරන්නට ස්වර්ණවාහිනී නාලිකාව කටයුතු කර තිබේ. 4 වනදා ඔවුනගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මේ ගැන කිසිවක් ප්‍රකාශ නොකර තිබීම විශේෂත්වයකි. ඒ ගැන නොකියා දන්වා සිටියේ ස්වර්ණවාහිනී නව ප්‍රවෘත්ති මැදිරියක් විවෘත කළ බවත් එම අවස්ථාවට බෙන් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයේ ප්‍රධානියකු හා තවත් අය පැමිණි බවත්ය.

එම අවස්ථාවට එදිරිසිංහ පවුලේ කිසිවෙකු සිටියේ නැත. පැමිනි අය රූපවාහිනී ප්‍රවෘත්ති පාලක මැදිරියේ කිසියම් යන්ත්‍රයක් පණගන්වන අයුරුද දර්ශනය කෙරිණි.

සිදුවී ඇත්තේ ඊඒපී එදිරිසිංහ සමාගමේ කොටස් මිලට ගත් ශ‍්‍රී ලාංකික සමාගම වන බෙන් හෝල්ඩින්ග්ස් හා සිංගප්පූරු සමාගම වන බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම මෙම නාලිකාවේ නව අයිතිය තහවුරු කරමින් යන්ත්‍රයක් පණගැන්වීමයි.
පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මෙම ගනුදෙනුව ගැන වැඩි විස්තර අනාවරණය කර තිබූ අතර මිලියන 75 න් 54 ක් මින් ඉහත පසුගිය 2018 වසරේ ජුනි මස ගෙවා තිබූ බවත් මිලියන 10 ක් පසුගිය සඳුදා ගෙවූ බවත් සිකුරාදා (4) අවසන් කොටස ගෙවා අත්පත් කරගන්නා බවත් වාර්තා කර තිබුණි.

ඒ අනුව මීට වසර එකහමාරකට පමණ පෙර අභාවප්‍රාප්තවූ සෝමා එදිරිසිංහගේ දරුවන්ට තවදුරටත් ඊඒපී සමාගම ගොඩනැගූ වත්කම් හිමි නැත.
මෙම වත්කම් මිලට ගත් සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් වන බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ලංකාවේ ඊඒපී වත්කම් සතුකරගැනීම රටේ නිතිය අනුව කෙතරම් නිවැරදිද යන්න ගැන පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේද කථාබහක් මතුකර තිබුණි. එකී සමාගමේ ලංකාවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බෙන් හෝල්ඩින්ග්ස් යන දේශීය සමාගම මෙම ගනුදෙනුවට යොදාගෙන ඇත්තේ මෙම නීතිමය තත්වයෙන් මිදීමට බවත් කියැවිණි.

මෙම ගනුදෙනුව අනුව මේ දක්වා ඊඒපී එදිරිසිංහ සමූහයට අයත්ව තිබූ ස්වර්ණවාහිනී,

ඊ ටීවී, ශ්‍රී එෆ්එම්, රන්වන් එෆ්එම්, ඊ එෆ් එම් ඇතුළු මාධ්‍ය ජාලයම විකුණා දමා ඇත.
 එසේම ලංකාවේ දිගුකලක් තිස්සේ ප්‍රකටව පවතින ස්වර්ණමහල් ස්වර්ණාභරණ හා උකස් ආයතනද විකුණා දමා ඇත. එසේම ඊඒපී මණ්ඩලය නමින් ප්‍රකටව පැවති සැවොයි කොන්කොර්ඩ් සිනෙක්ස්පෝ සමන්තා ක්වීන්ස් ඇතුළු සිනමා ශාලා රාශියත් ඊඒපී චිත්‍රපට නිර්මාණ සමාගමත් විකුණා දමා ඇත. ස්වර්ණමහල් මූල්‍ය සේවා ආයතනත් (ඊටීඅයි හැර) ඔවුනට අයත් වැල්ලවත්ත සෆායර් හෝටලයත් විකුණා දමා ඇත.

මේ වනවිට තැන්පත්කරුවන් මගහැරිය නිසා රටේ ආන්දෝලනයක් ඇති කර තිබෙන ඊටීඅයි හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනය පමණක් මෙම ගනුදෙනුවේදී මිලට ගෙන නැති අතර එමගින් රුපියල් බිලියන 33 ක් තැන්පත්කරුවන්ට ගෙවිය යුතුව තිබේ. මහබැංකුව මැදිහත්වී එම හිඟ මුදල් සියයට 20 ක් පියවීම් කර ඇති නමුත්
එම ගැටලුකාරී තත්වයන් සම්පූර්ණයෙන් විසඳීමට ඊඒපී සමූහයේ හිටපු ප්‍රධානීන් හට ඉදිරියේදී සිදුවනු ඇත.

ඊඒපී ජාලය මිලට ගත් නව හිමිකරුවන් ගැන සඳහන් සන්ඩේ ටයිම්ස් පුවත පහතින්

 ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මේ ගැන කිසිවක් ප්‍රකාශ නොකර ස්වර්ණවාහිනී නව ප්‍රවෘත්ති මැදිරියක් විවෘත කළ බව පවසා සිටි අයුරු වීඩියෝව ඊට පහතින්