මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විහාරස්ථාන සංවර්ධන වැඩසටහනක් පිළිබඳව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමින් මෙසේ කියා තිබේ.

 ‘උතුරට ප්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් ඉඳලා තියෙන්නේ 1968 දී තිරුචෙල්වම් මහත්මයා පමණයි. දේවානන්ද මහත්මයාත් හිටියට එයා ප්‍රධාන දහරාවේ නෙමෙයි. නිකමට සිතා බලන්න වසර 50 ක් ඇමති කෙනෙක් නැති පළාතකට මොන වගේ තත්වයක් ද උදා වෙන්නේ කියලා. අෂ්රොෆ් මහත්මයා වරාය
ඇමති උනහම ඔලුවිල්වල වරායක් හදනවා. මහින්ද මහත්මයා ජනාධිපති වූ වෙලාවේ මත්තල ගුවන් තොටුපලක් සහ හම්බන්තොට වරායක් හදනවා. ඒ වගේ තමයි අපේ රටේ දේශපාලනය. අධ්‍යාපන ඇමති ගමේ පාසල, ගුරු විද්‍යාලය, විශ්ව විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය ආදිය එම ප්‍රදේශයට සුදුසු නොවුනත්
තමන්ගේ බලය පාවිච්චි කර හදනවා.  කර්මාන්ත ඇමති තමන්ගේ ගමේ කර්මාන්ත හදනවා. මොකද මිනිසුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මනාපයෙන් පත් වූ ඇමතිගෙන් වැඩක් ගන්න. ඇමතිවරුත් ස්වභාවයෙන්ම එතැනට ඇදී යනවා.

ඊළඟට රස්සා දෙන්න ඕනේ උනහම ඇමතිවරයා තමන්ගේ හිතවතුන්ට රස්සා ලබා දෙනවා. එයනේ සත්‍ය කතාව, උතුරේ වසර 50 ක් එය සිදු වෙලා නැහැ. උතුරේ කර්මාන්ත කිහිපයයි තිබෙන්නේ, පරන්තන්වල රසායන කම්හල, කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, මේවා එක්දහස් නමසිය පනස් ගණන්වල පොන්නම්බලම්  මහත්මයා සිටින කාලයේ හදපුවා. ඒ ඇරෙන්න කිසි දෙයක් වෙලා නැහැ. රැකියා දීලා නැහැ. මොකද ඇමතිලා නැහැනේ රැකියා දෙන්න. ඒ නිසා අපි කියන්නේ දෙමළ සන්ධානේ අයටත් ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකම් අරගෙන රටට සේවය කරන්න කියලා.  කිසිම ගැටළුවක් නැහැ. මම බොහොම පැහැදිලිව එදා මුලතිව්වලදි කිව්වා, පිළිම තිබ්බහම පෙළපාලි යනවා හැබැයි බොන්න වතුර නැහැ. ඉන්න ගෙයක්, යන්න පාරක් නැහැ. මොකද බුදු පිළිම නිසා නෙමෙයිනේ මේවා සිදුවෙලා තිබෙන්නේ.

ඊළඟට අපි ව්‍යවස්ථාව සංශෝධනය කළා කියමුකෝ. ව්‍යවස්ථාව සංශෝධනය කළ පමණින් උතුරට වතුර ලැබෙනවාද, ඔබවහන්සේලාට පෙනෙනවා මන්නාරමට යන පාරේ, අනුරාධපුරේ පහුකරාට පසුව තන්තිරිමලේට යනකන් විතරයි කොළ පාට. ඊට පස්සේ කහපාට, වතුර බිඳක් නැහැ ඒ පළාතට. මෙතන ව්‍යවස්ථා සංශෝධනයක් කළයි කියලා, යෝධ වැවෙන් එහාට, සෙට්ටිකුලමෙන් එහාට වතුර ලැබෙනවද? නැහැ. මිනිසුන්ට රැකියා ලැබෙනවද? නැහැ. උතුරේ මිනිසුන්ට අවස්ථාවක් ලබාදුන්නොත් කුරුණෑගල, දඹුල්ලේ පදිංචි වෙන්න කියලා. එක පවුලක්වත් ඔතන ඉතිරි වෙන්නේ නැහැ. එයයි ඇත්ත. සිංහල මිනිසුන් ගිහින් උතුරේ පදිංචි වෙනවා, බුදු පිළිම තියනවායි බොරු බිය හදන්න එපා දෙමළ ජනතාව අතර. කිසිම සිංහල මිනිහෙක් උතුරට යන්න අවශ්‍යතාවක් නැහැ.  ඇයි? වතුර නැති, ජීවන තත්වයක් නැති තැනක පදිංචියට යන්න මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මොකද මිනිස්සුන්ට හොඳ ජීවන තත්වයන් ඇති තැන් අනෙක් පැතිවල තිබෙනවා. ඇත්තටම අද උතුරු කොළඹ, බටහිර කොළඹ, වත්තල ආදී ප්‍රදේශවල අද දෙමළ ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. බොහොමයක් උතුරෙන් ආපු අය. ඒ ඇයි? එම ප්‍රදේශවල ජීවන තත්වයන් නොමැති නිසා තමයි ඇවිත් තිබෙන්නේ. අපි ඒ අයට කරදරයක්, හිරිහැරයක් කර නැහැ. අපි නිවාස ලබාදීමේදී සිංහලයන්ට පමණක් කියලා ප්‍රතිපත්තියක් ඇත්තෙත් නැහැ. 80% ක් 90% ක් ඉන්නේ වෙනත් ජාතීන් ඒ නිවාසවල.  එය අප ගැටළුවක් කරගෙන නැහැ. ඒ නිසා මෙය අපි වෙනස් විදිහට සිතිය යුතු කාලය ඇවිත් තිබෙනවා කියන එකයි අපේ අදහස’ යැයි පැවසීය.