උත්සව කාලය තුලදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන

පොලිසිය විසින් ඉවත් කිරීමට පියවර ගනු ලබන බවට පොලිසිය මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම උත්සව සමයේ මහජනයා තම විවිධ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ප්‍රධාන නගර වෙත පැමිණෙද්දී එලෙස පැමිණෙන රථවාහන ප්‍රධාන නගරවල මහාමාර්ග හා පදිකවේදිකා අවහිර වන සේ
නවතා තබා යෑමට කටයුතු කරන බව බොහෝ විට නිරීක්ෂණය වන බවත්
එසේ රථවාහන ගාල් කර තැබීම නිසා බොහෝ අවස්ථාවල ප්‍රධාන නගරයන් තුල අනවශ්‍ය රථවාහන තදබදයක් නිර්මාණය වී මහජනතාවට විශාල අසීරුතාවයන්ට මුහුණපෑමට සිදු වන බවත් එම නිවේදනයේ දැක්වේ.
203 අධිකාරිය වූ 1984 අංක 40 දරණ මෝටර් වාහන පනතේ 167 (4) හා (5) යන උප වගන්ති ද මෙම නිවේදනය සමග උපුටා දක්වා ඇත.

167 (4) උපවගන්තිය: පොලිස් නිලධාරියෙකුගේ මතය අනුව මහා මාර්ගයක නවතනු ලැබු හෝ තවකාලිකව රඳවනු ලැබූ මෝටර් වාහනයකින් හෝ යම් වස්තුවකින්, දෙයකින් හෝ ද්‍රව්‍යකින් යම් මහා මාර්ගයක් හෝ පැති මගක ගමනාගමනයට යම් අවහිරයක් සිදු වන අවස්ථාවක ඒ පොලිස් නිලධාරියා විසින් අවහිරයට හේතු වන දෙය ඉවත් කර ඉවත් කිරීමේ වියදම් අයිතිකරුගෙන් අයකරගනු ලැබිය හැකිය.

167 (5) උපවගන්තිය : 04 වන උප වගන්තිය යටතේ මෝටර් වාහනයක්, වස්තුවක්, දෙයක් හෝ ද්‍රව්‍යයක් ඉවත් කරනු ලැබීමේදී සභාවයෙන් සිදුවූ යම් හානියක් සඳහා කිසිම පොලිස් නිලධාරියෙකු අලාභ ගෙවීමකට යටත් නොවිය යුතුය.

ඉහතින් සඳහන් කල නීතිමය ප්‍රතිපාදන දිවයින්නේ සියළුම පොලිස් ස්ථානයන් වෙතින් ක්‍රියාත්මක කරවීමට අදහස් කරන බැවින් උත්සව සමය තුල මහජනතාවට අවහිරයකින් තොරව ප්‍රවාහන කටයුතු සලසා ගැනීම සඳහා ඉඩ සලසන්නැයි පොලිසිය ඉල්ලා ඇත.