ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා ශ්‍රීලනිප පිරිස් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට බඳවා ගත් බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නමුත් එම අවස්ථාවේ
ඔවුන් බඳවා ගත්තේ නැති බවයි. මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සාමාජිකත්වය ලබාගන්නා අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති අයිතමයක් ලෙසද ප්‍රචාරය වූ අතර ශ්‍රීලනිපයෙන් විශාල පිරිසක් කැඩී යාම ගැනද කතාබහක් ඇති විය.

ඒ වනවිට ජනපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අතර එම විසුරුවාහැරීම නීතිවිරෝධී බව තහවුරු කෙරුනේ පසුගිය 13 වනදාය. බැසිල් දැන් පවසන්නේ සාමාජිකත්වය ගන්නට අයදුම් පත්‍ර පමණක් එදින දුන් බවත් සාමාජිකත්වය තවම ලබාදී නැති බවත්ය.

මෙසේ පවසන්නට හේතුවී ඇත්තේ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය යන්න ඔප්පු වීම ශ්‍රීලනිප මන්ත්‍රී ධූර දරන්නන්ට එම ධූර අහිමිවීමට ඉඩ සලසන කටයුත්තක් වීමය. මෙලෙස ශ්‍රීලනිප මන්ත්‍රී ධූර ය ලබා සිටියදී පොදුජන පෙරමුනු සාමාජිකත්වය ලබාගත්තේ නම්

 මහින්ද නාමල් ඇතුලු විශාල පිරිසකගේ මන්ත්‍රී ධූර අහිමිවීමේ අවදානමක් පවතින අතර මේ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බව ළඟදී එජාපයේ සහායට ආ පියසේන ගමගේ මන්ත්‍රීවරයා දන්වා තිබුනි.