සුගියදා කැස්බෑව, මාවිත්තර ප්‍රදේශයේ නිවෙසක දී කාර්යාලයට යාමට සූදානමින් සිටි කළමනාකාරවරියකගේ ගෙල මිරිකා තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොරකමේ යෙදෙන අයෙකු අත්අඩංගුවට ගත් බව පසුව හෙළිදරව් විය. වැඩිදුරටත් කර තිබෙන පොලිස් පරීක්ෂන අනුව එම සොරා ඇයගේ ඥාති පුතකු බවත්
මෙම සිද්ධියට කුලී රථ රියැදුරකුද සම්බන්ධ කරගෙන තිබූ බවත් හෙළිව ඇත. ඉරිදා (09) අත්අඩංගුවට ගත් මොහුගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම් වලදී මේ වනවිට සියල්ල අනාවරණය කරගෙන තිබෙන බව පිළියන්දල පොලිසිය කියයි.

ඝාතනය කළ කාන්තාවගේ දුරකථනයට ලැබී තිබූ කෙටි පණිවුඩ ඔස්සේ සිදු කළ පරික්ෂණ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ.  කැස්බෑව, මාවිත්තර, ගුරු ගම්මාන පාර පදිංචිව සිටි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුබද්ධ ජල අපද්‍රව්‍ය කළමනාකරණ පෞද්ගලික ව්‍යාපෘතියක වැල්ලවත්ත ශාඛාවේ කාර්යාල
කළමනාකාරවරිය ලෙස සේවය කළ නිරංජනී විරසිංහ නමැති 54 හැවිරිදි දෙදරු මවක මෙසේ ඝාතනය කර තිබිණි. ඝාතනය සඳහා යොදාගත් පිහිය කළමනාකාරවරියගේ නිවසෙහි මුළුතැන්ගෙයි සගවා තිබියදී හා ඇය ඝාතනය කිරිමෙන් පසු මුදල් පසුම්බියෙන් කොල්ලකන ලද බැංකු කාඩ්පත් දෙක හා නිවසෙහි යතුරු කැරැල්ල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආසනයේ මාර්ගයක විසිකර දමා තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය කියයි. බැංකු කාඩ්පත් දෙකම කඩා විනාශකර තිබූ බවද පොලීසිය කියයි.

සැකකාර ඥාති පුත්‍රයා කළමනාකාරවරියගේ නිවසට පැමිණ සතුටු සාමිචියේ මද වේලාවක් යෙදී සිට රුපියල් පනස් දහසක ණය මුදලක් ඉල්ලා ඇති අතර, ඇය තමන් ළඟ මුදල් නොමැති බව පැවසීමත් සමග එයට උරණ වූ සැකකරු ඇයට බැණ වැදී ඇති අතර ඒ සමගම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වී ඇති බවද පොලිසිය කියයි.

අනතුරුව සිය ඥාතිවරියගේ ගෙල මිරිකා ඇති අතර ඇය සිහිසුන්ව නිවසෙහි සාලයෙහි වැටීමෙන් පසු නාන කාමරය වෙත ඇදගෙන ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වී ඇත.

අනතුරුව ඇය පැළැඳ සිටි රන්මාලය හා මුදුවද ගලවා ගත් සැකකරු ඇයගේ මුදල් පසුම්බියේ තිබී බැංකු කාඩ්පත් දෙක ද රැගෙන නිවසින් පිටවීමට පෙර ඇයගේ කුඩය ද අතට ගෙන ඇති බව පොලිසිය කියයි.

 කුඩය සැකකරු අතට ගෙන ඇත්තේ එම නිවසෙහි සුරතලයට ඇති කරන බල්ලා සපා කැවොත් පහරදීමට බව
ඔහු පොලිසියට  පවසා ඇත. නිවසින් පිටතට පැමිණ ඇති සැකකරු එහි ඉදිරි දොර වසා යතුරත් රැගෙන එම ස්ථානයෙන් පිටතට පැමිණ මහරගම දක්වා පැමිණ ඇති බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත.

මහරගමින් කුලි රථ සේවාවක වාහනයක් ගෙන්වා ගත් සැකකරු එහි රියදුරුට ජාතික හැදුනුම්පත නොමැති බව පවසා
කොල්ලකන ලද රන් මාලය හා මුදුව මහරගම නගරයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කර රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගෙන එම රියැදුරු සමග කොළඹ ප්‍රදේශයේ සැරිසරා බොරලැස්ගමුව. අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක රැය පහන්කර ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ කළමනාකාරවරිය පරිහරණය කරන ලද ජංගම දුරකථනයට  සාතනය සිදු වූ දින සවස් භාගයේ වරින්වර  ලද කෙටි පණිවිඩ පිළිබඳ සැලකිලිමත් වූ උපපොලිස් පරික්ෂක ඉන්දික දුමින්ද මහතා ඒ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතාට දන්වා කෙටි පණිවිඩ ලැබෙන ආයතන ඔස්සේ පරික්ෂණය වේගවත් කරමින් ඝාතනය වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගනිමින් ඝාතනයට ලක් වූ අයගේ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ ඇයගේ බැංකු කාඩිපත් කිසියම් අයකු පරිහරණය කරන නිසාවෙන් බවට මූලිකව හෙළි කර ගත් බව පොලිසිය කියයි.

එය බම්බලපිටියේ සුපිරි වෙළඳ සංකිර්ණයකින් ලැබෙන කෙටි පණිවිඩ බව වැඩිදුර විමර්ශනවලින් හෙළිකර ගත් පොලිස් නිලධාරිහු එම ආයතනයට ගොස් එහි ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී මෙම සැකකරු කුලි රථ සමාගමකට අයත් මෝටර් රථයකින් එයින් පිටවෙන අයුරු වැඩි දුරටත් අනාවරණය කර ගත්හ.

 -බිමල් ශ්‍යාමත් ජයසිංහ-