https://www.gossiplankanews.com/2018/12/largest-heroine-nabbed-in-dehiwala.html#more

මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278ක් වු රුපියල් කෝටි 333ක් පමණ වටිනා විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා විශේෂ කාර්ය බලකාය සමත් විය.
පොලිසියට ලැබුණ ඔත්තුවකට අනුව අද දහවල්
ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ තට්ටු නිවාස සංකීර්ණයක 4 වන මහළක පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු හෙරොයින් කිලෝ 3 ක් සමග කොටු විය. ඔවුන් කේක් පෙට්ටිවල අසුරා ගමන් බෑගයක සඟවා තිබූ හිරොයින් කිලෝ 3 එම නිවසේ විසූ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට විකිණීමට ගොස් සිටි බව වාර්තා විය.
ඒ අනුව පොලිසිය ඔවුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව රෝලර් දොරක යතුරක් හා

නිවසක යතුරු කැරැල්ලක් තිබුණ බව හඳුනාගන්නට හැකිව තිබේ. එම යතුරු අයිති නිවස පිහිටි තැන පෙන්වන්නැයි පොලිසිය ඔවුන්ට බල කර තිබෙන අතර ඒ අනුව 56 ඒ කවුඩාන පාර අත්තිඩිය දෙහිවල නමැති ලිපිනයේ පිහිටි දෙමහල් නිවසක් පරීක්ෂාවට පොලිසිය ගොස් තිබේ.

ඒ අවස්ථාවේ දොර ජනෙල් වසා තිබුණ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ හැමතැනම විවිධ ආකාරයට හෙරොයින් මළු සඟවා තිබී ඇති අතර එය හෙරොයින් ගබඩා සංකීර්ණයක් බව වටහා ගැනීමට පොලිසියට හැකිව ඇත.
ගමන් මළුවල කේක් පෙට්ටිවල හෙරොයින් අසුරා තිබී ඇත.
හෙරොයින් කිලෝ 270 කට වැඩි තොගයක් එහි විය.කොකේන් කිලෝ 5ක්ද මෙම නිවසේ තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය කාලයේ තැනින් තැනින් හමුවූ හෙරොයින් විශාල ප්‍රමාණයේ කොටස් සියල්ල මෙතැනින් බෙදාහැරි ඒවා බවද පසුව හඳුනාගෙන තිබේ.

මෙම ස්ථානයේ හෙරොයින් ඇසිරීමට කවලම් කිරීමට පැකට් කිරීමට අදාළ යන්ත්‍රද තිබී ඇත.
මෙලෙස පොලිස් භාරයටගත් හොරොයින් තොගය රුපියල් මිලියන 3,336 කට මිල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්වා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්තානයේ සිට ගෙන්වා ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇතත් මේවා මෙරටට ගෙනා ආකාරය පිළිබඳව තොරතුරු තවම හෙළිවී නැතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතික තරුණයින් දෙදෙනා මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය විකිණීම බාරගෙන සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු බවද ඔවුන් සංචාරක වීසාවලින් මෙරටට පැමිණ අත්තිඩිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එම නිවසේ පදිංචිවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවද පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ තිලක් ධනපාල යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ එම කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මින් ඉහත 2013 වසරේ ඔරුගොඩවත්තේ බහාලුම් මධ්‍යස්ථානයක ග්‍රීස් ටින්වල අසුරා තිබූ හෙරොයින් කිලෝ 261 ක් හමුවූ අතර එය විහාලතම හෙරොයින් වැටලීමේ වාර්තාව වි තිබිණි.එම වාර්තාව බිඳ දමමින් කිලෝ 278 ක් අද අත්අඩංගුවට පත්විය.