මාස 6ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය විසින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවූ බවට ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකර ඇති ප්‍රකාශය කරුණු විකෘතියක් බවත් එයට තම අප්‍රසාදය
පළ කරන බවත් මෙරට ජර්මන් තානාපති Jörn Rohde පවසා තිබේ.

මෙම වසර මුලදී ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද දේශපාලන අර්බුධයකට මුහුණ දී සිය බහුතර බලය ලබා ගැනීමට මාස 6ක් කාලයක් ලබා ගත්තා ය යන සිද්ධිය මැතිවරණයකින් අනතුරුව බහුතර සංයුතිය සකසාගන්නට බැරිවයාම මත ඇතිවූ අස්ථාවරභාවයක් බවත් ජනපතිවරයා සිදු කළ ක්‍රියාව
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඇති කළ ව්‍යවස්ථාමය අර්බුදයක් බවත් පෙන්වා දෙන Jörn Rohde මේ සිද්ධි දෙක කිසිසේත් සමාන කළ නොහැකි බව පවසයි.

එසේම ජර්මානු දේශපාලනය හා ශ්‍රී ලංකාවේ දේශපාලනය සංසන්ධනයට පවා දුෂ්කර හාත්පසින් වෙනස් තල දෙකක දිවෙන බවත් දේශපාලකයින්ගේ අරමුණු හා රට ගැන පවතින ආකල්ප දෙස විමසීමේදී එය වඩා හොඳින් තහවුරු වන බවත් පෙන්වා දෙයි.

මේ නිසා ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය මේ ආකාරයට සාධාරණීකරණය කළ නොහැකි බව තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දන්වා ඇති බව පැවසේ. මේ පිළිබඳව සාකච්ඡා කොට කරුණු දැක්වීමට තමන් ජනාධිපතිවරයාගෙන් හමුවීමක් ඉල්ලා සිටියද තවම එයට ප්‍රතිචාරයක් හිමි නොවු බව ඔහු දන්වා ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට හිරිහැර කිරීමේ සිද්ධියද Jörn Rohde හෙළාදැක තිබූ අතර එම අවස්ථාවේ මහජන ගැලරියේ සිටි ඔහු එහි ඡායාරූප සිය ට්විටර් ගිණුම මගින්ද ප්‍රසිද්ධ කර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ඇති බවට විවේචනයක් කර තිබුණි.